හාම්පුතුන්ගේ දේපලක් බවට පත් අරාබි යන අපේ කතුන්

Image copyright AFP
Image caption වසර 2010 දී එක්සත් අරාබි ජනරජයේ සේවය කළ පිලිපීන කාන්තාවක් තම තුවාල කැළැල් පෙන්වූ අයුරු

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ ආසියානු රටවල කාන්තාවන් එක්සත් අරාබි ජනරජයේ මෙහෙකාර සේවයේ යෙදෙන අතර මෙම කාන්තාවන් නිවෙස් හිමිකරුවන්ගේ හිරිහැරයට සහ අපයෝජනයට ලක් වන බවයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ.

එම සංවිධානය ඉදිරිපත් කළ නව වාර්තාවෙන් පැවසෙන්නේ මෙම මෙහෙකාර සේවිකාවන් මුහුණ හරහා පහර දීම් සහ යකඩ වයර් යොදා ගෙන කරන අමානුෂික පහර දීම් වලට ලක් වන බවයි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියානු සභාපතිනිය මීනක්ෂි ගංගුලි පවසන්නේ මෙය කාන්තාවන් වහල් භාවයේ යෙදවීමක් ලෙසයි.

'හාම්පුතුන්ගේ දේපලක්'

“මේ කාන්තාවන්ව ඔවුන් මෙහෙකාර සේවයේ යෙදෙන ගෙවල් වල අතපය ගැටගහල හිර කරගෙනයි ඉන්නේ. මේ කාන්තාවන් වාචිකව සහ කායිකව හිරිහැරයට සහ අපයෝජනයට ලක් වෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට සිදු විය හැකි ලිංගික හිරිහැර වලට පවතින අවදානම ඉහලයි. හාම්පුතුන් ක්‍රියා කරන්නේ මේ කාන්තාවන් තමන්ට අයිති දේපළක් විදිහට. මේ නිසා ඔවුන් පෙලඹිලා තියෙනව මේ කාන්තාවන්ට තමන්ට කැමති දෙයක් කරන්න” යනුවෙන් ඇය තම සංවිධානය විසින් පල කළ එම වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවාය.

මීනක්ෂි පවසන්නේ මෙම ප්‍රශ්නයට මූලික හේතුව මෙම සේවිකාවන්ට අරාබියේ රැඳී සිටීමට අවශ්‍ය වීසා බලපත් සකසන්නේ ඔවුන් සේවයට පැමිණෙන නිවසේ හාම්පුතුන් විසින් ලබා දෙන අනුග්‍රාහක ලියවිල්ලක් හරහා බැවින් ඔවුන් අරාබියට පැමිණි පසු සේවා ස්ථානය වෙනස් කිරීමට හෝ සේවයෙන් ඉවත් වීමට හැකියාවක් නොමැති වීම බවයි.

'කර්ෆිලා ක්‍රමයේ වරද'

“ඉතාමත්ම වැදගත් කාරනාව තමයි කර්ෆිලා ක්‍රමය ක්‍රියාත්මක වීම. මේක අරාබි වචනයක්. මෙම කර්ෆිලා ක්‍රමය මුලිකවම සිදු කරන දේ තමයි සේවයට පැමිණෙන පුද්ගලයන්ගේ විසා බලපත්‍ර තමන් සේවයට පැමිණෙන නිවසේ හිමිකරුවන් වෙනුවෙන් පමණක් සේවය කිරීමට සීමා කිරීම. ඒ අනුව ඔවුන් රට තුලට ඇතුල් වූ පසුව සේවයෙන් ඉවත් වීමේ හැකියාවක් නැහැ. ඉතින් ඔවුන්ට පොරොන්දු වූ රැකියාව සහ දීමනා නොලැබුනත්, තමන් හිරිහැරයට පත් වුනත් එයින් ගැලවීමට ඔවුන්ට මගක් නැහැ” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ සේවකයින් වෙනුවෙන් පෙනී සිටීමට සහ ඔවුන් ආරක්ෂා කිරීමට ඔවුන් සේවයට යොදවන රට මෙන්ම ඔවුන් පුරවැසි බව දරන ආසියානු කලාපීය රටවලටත් විශාල වගකීමක් තිබෙන බවයි ඇය පවසන්නේ.

'දවසට පැය විසි එකක් වැඩ'

දැනට එක්සත් අරාබි රාජධානියේ සේවය කරන කාන්තාවන් ගණන එක් ලක්ෂ පනස් දහසක් බවට ගණන් බලා ඇති අතර ඔවුන්ගෙන් බොහොමයක් පිලිපීන, ඉන්දියානු, බංග්ලාදේශ, නේපාල, ඉතියෝපියානු සහ ශ්‍රී ලාංකීය කාන්තාවන් බවයි පැවසෙන්නේ.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් එම කාන්තාවන් අතරින් අනූ නව දෙනෙකු සමග සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති අතර ඔවුන් සියලු දෙනා පවසා ඇත්තේ තමන්ට පැය විසි එකක් වැනි කාලයක් දිනකට වැඩ කිරීමට සිදු වන බවයි.

'රැකියා දෙන ආයතන අධීක්ෂණය කළ යුතුයි'

කම්කරුවන්ගේ අයිතීන් රැකීමට සහ ඔවුන් ආරක්ෂා කිරීමට ගතහැකි පළමු පියවර වන්නේ මේ විදේශ රැකියා නියෝජිත ආයතන අධීක්ෂණය කිරීම බවයි මිනක්ෂි පවසන්නේ.

ශ්‍රී ලංකාවේ දැනට ගෙන ඇති පියවරක් වන්නේ ගම් වල ජනතාව මේ නියෝජිත ඒජන්සි කරුවන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ රජයෙන් අනුමත කළ නියෝජිතයන් වෙත පමණක් යොමු වීමට උපදෙස් ලබා දීම.

නමුත් මෙම රැකියා බලාපොරොත්තු වෙන පිරිස් ආර්ථික ප්‍රශ්න වලින් පීඩාවට පත් වුනු අය බැවින් කෙසේ හෝ විදෙස් රැකියාවක් ලබාගෙන තම පවුල් වලට උපකාර කිරීමයි ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ.

එබැවින් ඔවුන් ආරක්ෂා කළ හැකි ප්‍රබල යාන්ත්‍රණයක් අවශ්‍ය බවයි මෙම වාර්තාව මගින් තවදුරටත් අවධාරණය කරන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර