‘ජමාට් ඉස්ලාමීය’ නායකයාට මරණීය දණ්ඩනය

Image copyright AFP
Image caption දඬුවම් ලද 'ජමාට්' නායකයා බන්ධනාගාර රථය තුළ

බංග්ලාදේශයේ ජමාට් -ඉ-ඉස්ලාමි පක්ෂයේ නායක මතියුර් රහ්මන් නිෂාමි මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබීම එම පක්ෂය විසින් බලවත් ලෙස හෙළා දකිනු ලැබ ඇත.

ජමාට් -ඉ-ඉස්ලාමි බංග්ලාදේශයේ බලවත්ම ඉස්ලාමීය පක්ෂයයි.

විශේෂ යුද අපරාධ අධිකරණය විසින් දෙන ලද තීන්දුව ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් හැටියටයි එම පක්ෂය විසින් විග්‍රහ කරනු ලබන්නේ.

විත්තියේ නීතිවේදී තජුල් ඉස්ලාම් කියා සිටින්නේ නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

‘අද නඩු තීන්දුව ඉතා අසතුටුදායකයි. මොකද? අධිකරණය ඊට අයත් අධිකරණ බල සීමාව ඉක්මවා ගියා. මේ අධිකරණය තුළ දේශපාලන භාෂාවක් භාවිතා කෙරුණා. උදාහරණයක් විදියට රහ්මන් නිෂාමි ඇමති වරයකු හැටියට පත් කරනු ලැබීම ඓතිහාසික වරදක් හැටියටයි අධිකරණය විසින් විග්‍රහ කරනු ලැබුණේ’ නීතිවේදියා පවසයි.

දින තුනක වර්ජනයක්

නඩු තීන්දුවට එරෙහිව දවස් තුනක වැඩ වර්ජනයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබීමට ද ජමාට් -ඉ-ඉස්ලාමි පක්ෂය පියවර ගෙන ඇත.

හිටපු ඇමැතිවරයකුද වන මතියුර් රහ්මන් නිෂාමි වරදකරු කෙරුණේ, 1971 වසරේ බංග්ලාදේශය පකිස්තානයට එරෙහිව නිදහස උදෙසා ගෙන ගිය අරගල සමයේ ඔහු විසින් සිදු කරන ලද ජන ඝාතන, ස්ත්‍රී දූෂණ සහ වෙනත් අපරාධ චෝදනා සම්බන්ධයෙන්.

බංග්ලාදේශයේ වත්මන් පාලක ‘අවාමි’ සංගමය කියා සිටින්නේ, රට අතීත අමිහිරි මතකයෙන් ගොඩ ගැනීමට මෙවැනි නඩු විභාග පවත්වා වරදකරුවන්ට දඬුවම් දීම අවශ්‍ය පියවරක් වන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර