සිංගප්පූර් සම ලිංගික තහංචියට විරෝධතා

Image copyright gary lim

සමලිංගිකත්වයට එරෙහි නීතිය ව්‍යවස්ථානුකූල බවට සිංගප්පූර් අධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවට මානව හිමිකම් ක්‍රියාකාරී කණ්ඩායම් සිය දැඩි විරෝධය පළ කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 377A වගන්තිය සමලිංගික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට අධිකරණයට ඉදිරිපත් වූ අභියෝග දෙකක් පසුගිය බදාදා සිංගප්පූර් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

සිංගප්පූර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 377A වගන්තියට අනුව ප්‍රසිද්ධියේ හෝ රහසිගතව සම ලිංගිකව හැසිරීම අවුරුදු දෙකක සිර දඬුවම් පැනවිය හැකි වරදකි.

'හියුමන් රයිට් වොච්' සංවිධානය පවසන්නේ සිංගපුර් අධිකරණ තීන්දුව සමානාත්මතා අයිතීන් වල සිදු වූ විශාල පසු බැසීමක් වන අතර පෞද්ගලිකත්වය, සමාන අවස්ථා සහ සමාන සැලකුම් ලැබීම යන මූලික අයිතීන් මෙමගින් අභියෝගයට ලක් වී ඇති බවයි.

'සයෝනි' සම ලිංගික කාන්තා සංවිධානයේ ප්‍රකාශිකාව වන ජීන් චෝන් බීබීසීය සමග කියා සිටියේ අධිකරණ තීන්දුව මගින් සමලිංගික, ද්වී ලිංගික සහ තමන් විසින් ලිංගිකත්වය තෝරා ගත් සිංගප්පූර් වැසියන් පහත කොට සලකා ඇති බවයි.

එක්දහස් නමසිය තිස් අටේ සිංගප්පූර් රජය විසින් වගන්ති අංක 377A ව්‍යවස්ථාවට ඇතුලත් කළ අවස්ථාවේ එය රට තුල නීතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රකාශ කළත් ව්‍යවස්ථාවෙන් වගන්තිය ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරමින් රජය කියා සිටියේ එය සමාජයේ ගතානුගතිකවාදී සාම්ප්‍රදායික ආකල්ප නියෝජනය කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර