ඉන්දීය කාන්තාවන්ටත් වේශ නිරූපනයට අවසර

කාන්තාවන්ට වේශ නිරූපන ශිල්පීන් මෙන් ක්‍රියා කළ හැකි බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේ දශක හයකට ආසන්න කාලයක සම්ප්‍රදායයක් බිඳ දමමින්.

බොලිවුඩ් ක්ෂේත්‍රයේ ප්‍රබල වෘත්තීය සමිතියක් විසින් තමන්ට වේෂ නිරූපන ශිල්පයේ නියැලීමට ඉඩ ප්‍රස්ථා ලබා නොදෙන බවට චෝදනා කරමින් කාන්තාවන් නම දෙනකු අධිකරණය ගමුවට ගියේ 2013දී.

Image copyright AFP

කේශ කලාප හැඩගන්වන්නියන් ලෙසින් සේවයේ නියැලීමට පමණක් අවසර ලබා දී තිබුණද වසර 59ක් මුළුල්ලේ කාන්තාවන්ට වේශ නිරූපන ශිල්පිනියක් සේ රැකියාවේ නිරත වීම තහනම් කර තිබිණ.

පිරිමින්ගේ ජීවනෝපායට බාධා පැමිණෙතැයි යන තර්කයේ පිහිටා කාන්තාවට වේශ නිරූපන ශිල්පයට අවතීර්ණ වීමට වෘත්තීය සමිති බාධා කිරීම නීති විරෝධී බවයි අධිකරණය පවසන්නේ.

ලෝකයේ විශාලතම රූපවාහිනී කර්මාන්තයටද හිමිකම් කියන්නේ ඉන්දියාවයි.

"මෙය ව්‍යවස්ථානුකුලව ඉඩදිය නොහැකි අසාධාරණයක්," බව ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය.

"කොහොමද මේ අසාධාරණය දිගින් දිගටම සිදුවුනේ. අපි මේකට ඉඩ තියන්නේ නැහැ. අපේ ව්‍යවස්ථාව අනුව මෙවැනි දෙයක් සිදු නොවිය යුතුයි. ඇයි පිරිමින්ට පමණක් වේශ නිරූපන ශිල්පයේ ඉඩ දී තිබුනේ,"යනුවෙන් දීපක් මිස්රා සහ යූ යූ ලලිත් විනිසුරුවන් පැවසූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත පවසයි.

"සුදුසුකම් තිබෙනවා නම් කාන්තාවන්ට වේශ නිරූපන ශිල්පියෙක් වීම තනහම් කිරීමට කිසිම හේතුවක් දකින්නට නැහැ."

ඒ අනුව ශිල්පිනියන්ට එරෙහිව පනවා ඇති තහනම වහාම ඉවත් කරන මෙන් ඉන්දියාවේ සිනමා ඇඳුම් පැළඳුම් වේශ නිරූපන ශිල්පීන් සහ කේශ කල්‍යාන විලාසිතා සංගමයට අධිකරණය නියෝග කළේය.

"අපි ඉන්නේ 1935 නොවෙයි. 2014. මේවා අද දක්වා ඇදීයන්ට ඉඩ දෙන්න බැහැ," යනුවෙන් විනිසුරුවරු පැවසූහ.

"මම චිත්‍රපටි දෙක තුනක වැඩකලා. ඒක හරිම දුෂ්කර ක්‍රියාවක්. වෘත්තීය සමිති හරිම බලවත්. ඔවුන් චිත්‍රපටි රූ ගත කරන ස්ථාන වලට එනවා. කාන්තාවන් වේශ නිරූපණයේ යෙදී ඉන්න බව දැක්කොත් නිෂ්පාදකයාට දඩ කන්න සිද්ධ වෙනවා," යනුවෙන් ඛුරානා බිබිසියට පැවසුවාය.

ඉන්දියාවේ වේශ නිරූපන ශිල්පයේ නියැලීමට යත්න දැරූ කාන්තාවන්ට තර්ජන සහ පහරදීම් වලට පවා මුහුණ දීමට සිදුවී තිබේ.

වේශ නිරූපන ශිල්පයේ පුහුණුව ලැබූ කාන්තාවෝ සාමාන්‍යයෙන් මෝස්‌තර සංදර්ශන, වෙළඳ දැන්වීම් සහ මනාලියන් හැඩ ගැන්වීමේ ක්ෂේත්‍රයන්හි සේවය කරති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර