ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුස්ලිම් කැරැල්ල: තායිලන්ත වැසියන්ට තුවක්කු

කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් ආරක්ෂා වීම පිණිස දකුණු තායිලන්තයේ වැසියන්ට රයිෆල් තුවක්කු තුන් දහසක් බෙදා දෙන බව තායිලන්ත හමුදා පාලකයෝ පවසති.

මුස්ලිම් කැරලිකරුවන් සමඟ සටන් කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පිරිස්වලට මෙසේ තුවක්කු බෙදා දීම මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් වී තිබේ.

ගතව ගිය දශකය ඇතුලත ජීවිත හය දහසකට වැඩි පිරිසක් බිලිගත් ගැටුම මේ මගින් තවත් උත්සන්න වනු ඇති බව එම සංවිධානවල අදහසයි.

කලක් සමීප මිතුරන්ව සිටි තායිලන්තයේ බෞද්ධ සහ මුස්ලිම් ජනකොටස් එකිනෙකා කෙරෙහි දැඩි අවිශ්වාසයෙන් පසුවීම හමුවේ සිය ආරක්ෂාව පිලිබඳ තර්ජනයක් මතු වී ඇති බව කැරලිකරුවන්ට එරෙහිව සටන් කිරීම පිණිස තුවක්කු ලබාගත් කාන්තාවක් පැවසීය.

"ඉස්සර අපි සේරම යාලුවෝ, නෑදෑයෝ. ඒත් දැන් අපි බෙදිලා වෙන්වෙලා. එයාලට බෞද්ධ අපි දැන් යාලුවෝ නෙවෙයි. ඔවුන් අපි සේරම දකින්නේ හතුරෝ විදියට. ඒ නිසා දැන් අපිට සටන් කරන්න වෙලා තියෙනව. එහෙම නොවුනොත් මුළු බෞද්ධ ජනතාවම මරල දාවි," යනුවෙන් ඇය පවසන්නීය.

දකුණු තායිලන්තයේ මුස්ලිම් බහුතරයක් සහිත ප්‍රදේශවලට ස්වයං පාලන බලතල ලබාදිය යුතු බව කැරලිකරුවන්ගේ ඉල්ලීමයි.

කෙසේ නමුත් වසරක් ඇතුලත දකුණු තායිලන්තයේ ගැටුම නිමා කරන බව තායිලන්තයේ හමුදා පාලකයෝ පවසති.