රෝගීන්ට වඩා මීයන් වැඩි රෝහලක්

මධ්‍යම ඉන්දියාවේ රජයේ රෝහලක දස දහස් ගණනින් බෝවී සිටින මීයන් හේතුවෙන් රෝගීන් සහ කාර්ය මණ්ඩලය ගැට‍ළු රැසකට මුහුණ දී සිටිති.

කෘමි නාශක ආයතනයක් වන ලක්ෂ්මි සමාගම මේ වන විට මී ගහනය පාලනය කිරීමේ කටයුතු වල යෙදී සිටින අතර ඔවුන් පවසන්නේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ රාජා යෂ්වෙන්ත්රෝ රෝහල් භූමියේ දහසකට අධික මීගුල් සොයා ගෙන ඇති බවයි.

මීට වසර විස්සකට පෙර කෘමි නාශක ආයතනයක් විසින් මෙම රෝහල් පරිශ්‍රයේ බෝවී සිටි මීයන් දස දහසකට අධික ප්‍රමාණයක් විනාශ කර තිබෙන නමුත් මෙම ගැටලුව නැවතත් මතුවී තිබේ.

මේ වන විට රෝහල් පරිශ්‍රයේ මී ගහනය ලක්ෂය ඉක්මවන අතර මෙම සංඛ්‍යාව රෝහලින් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාවටත් වඩා වැඩි බවයි පැවසෙන්නේ.

මී උගුල්

ලක්ෂ්මි කෘමි නාශක ආයතනයේ ප්‍රධානී සංජය කර්මකාර් සංදේශය සමග කථා බහක නිරත වෙමින් කියා සිටියේ නොවැම්බර් හතර වෙනිදා සිට දින හතරක් මීයන් විනාශ කිරීමේ මෙහෙයුම් ගෙන යාමට නියමිත බවයි.

මී උගුල් වලට යෙදීම සඳහා එකකට එකක් වෙනස් කෑම වට්ටෝරු හතරක් සුදානම් කර ඇති අතර ඊට හේතුව මීයන් බුද්ධිමත් සත්ව කොට්ඨාශයක් වන බැවින් ඔවුන්ගේ පවුලේ එක මීයෙකු මිය ගිය පසු සියලු මීයන් අදාළ කෑම වර්ගය ප්‍රතික්ෂේප කිරීම බවයි ඔහු කියා සිටියේ.

පළමු දිනයේදී මිය ගිය මීයන් දෙදහස් පන්සීයක් එකතු කිරීමට තම සමාගමට හැකි වූ බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

දරුණුතම ගැටලුව

වැඩි වී ඇති මී ගහනය හේතුවෙන් රෝහල සහ රෝගීන් මුහුණ පා ඇති ප්‍රශ්න විස්තර කරමින් ඔහු කියා සිටියේ මෘත ශරීරාගාරයට ඇතුළුවන මීයන් මළ සිරුරු ආහාරයට ගැනීමට පටන් ගෙන ඇති බවයි.

උද්ගත වී ඇති දරුණුතම ගැටලුව අලුත උපන් බිලින්දන් මීයන්ගේ සපා කෑම් වලට ලක් වීමයි.

දිනකට ප්‍රතිකාර ලබන රෝගීන් පහළොස් දහසක් පමණ සිය ආහාර සකසන්නේ රෝහල් පරිශ්‍රයේදී වන බැවින් විශාල වශයෙන් ඉවත දමන ආහාර ද්‍රව්‍ය නිසා මේ ප්‍රශ්නය ඇති වී තිබෙන බවයි කර්මකාර් කියා සිටියේ.

ආයතනයේ ප්‍රධානී සංජය කර්මකාර් කියා සිටියේ මාස කිහිපයක් තුලදී මී ගහනය නැවතත් විශාල වශයෙන් වැඩිවීම වැළැක්වීමට නම් බෝ වී සිටින මී ගහනයෙන් සීයට අනුවක් පමණ විනාශ කිරීමට සිය සේවකයින්ට සිදු වන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර