ඔබාමාගෙන් ඉරානයට රහසිගත ලිපියක්

Image copyright AP
Image caption ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනී සහ ජනාධිපති බරක් ඔබාමා

ජනාධිපති බරක් ඔබාමා විසින් ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනී වෙත රහසිගත ලිපියක් යවා ඇති බව ඇමරිකානු පුවත්පතක් වාර්තා කරයි.

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට එරෙහි සටන දෙපාර්ශවය එක්වී කළ හැකි ආකාරය සාකච්ඡා කිරීම සඳහා මෙම ලිපිය ලියා ඇති බවයි වාර්තා වන්නේ.

‘ද වෝල් ස්ට්‍රීට්’ පුවත්පත වාර්තා කරන අන්දමට ජනාධිපති ඔබාමා මෙම ලිපිය යවා ඇත්තේ පසුගිය මාසයේදී යි.

න්‍යෂ්ටික වැඩසටහන

නමුත් කිසිදු එකඟතාවකට පැමිණීමට පෙර ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සීමා කල යුතු බව ජනාධිපති ඔබාමා අවධාරණය කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම පුවත්පත් වාර්තාව පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බව ධවල මන්දිරය ප්‍රසිද්ධියේ කියා සිටි බවයි එම වාර්තාව පුවත්පතට ලිවීමට එක් වූ මාධ්‍යවේදී ජේ සොලමන් කියා සිටියේ.

නමුත් එවැනි රහසිගත ලිපියක් යැවූ බව සනාථ කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකළ බව ඔහු ප්‍රකාශ කළේය.