ඝාතන වල වගකීම ඉන්දීය හමුදාව බාරගනී

Image caption කාශ්මීර දේශ සීමාවේ සිටින ඉන්දීය හමුදා සොල්දාදුවන්

කාශ්මීර පාලනයේ පවතින මතබේදයට තුඩු දී ඇති කලාපයේ දී ගැටවර වියේ පසුවන්නන් දෙදෙනෙකු වෙඩිතබා මරා දැමීම අත් වැරදීමකින් සිදුවූවක් බව ඉන්දියානු හමුදාව පිළිගෙන තිබේ.

මෙම කලාපයේ සිදුවූ සාමාන්‍ය වැසියන් ගේ මියයාමක් අත් වැරදීමක් ලෙස ඉන්දීය හමුදාවේ ඉහළ නිලධාරියකු විසින් පිළිගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.

මෙයට පෙර සිදුවූ මෙවැනි ඝාතනය කිරීම් හඳුන්වා තිබුණේ වරදවා හඳුනාගැනීම් හෝ අහම්බෙන් සිදුවූ මරාදැමීම් ලෙසටයි.

ගැටවර වියේ තරුණයන් දෙදෙනෙකු මරුමුවට පත්වූයේ සඳුදා ශ්‍රී නගර් හි දී ඉන්දීය හමුදාව විසින් මෝටර් රථයකට වෙඩි තබනු ලැබීම හේතුවෙන්.

ඉන්දීය හමුදාවේ උතුරු සේනාංකයේ ලුතිනන් ජෙනරාල් ඩී එස් හූඩා පැවසුවේ ඉන්දීය හමුදාව මේ ඝාතන වල වගකීම භාරගන්නා බවයි.

“මේ වන විට අපි මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වල තියනව. මම මෙතන දී පැහැදිලිව කියන්න කැමතියි මෙම සිදුවීමේ වගකීම අපි බාරගන්න බව. අපි ඉතා අවංකව පිළිගන්නව මේක සිදු නොවිය යුතුව තිබුණු බව. මේ මියගිය අයගේ පවුල් එක්ක ශෝකය බෙදාගන්න අපි කැමතියි ඒ වගේම මේ සිදුවූ ජීවිත විනාශය පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශකරන්න අපි කැමතියි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා මියගිය අයවලුන්ගේ පවුල් වලට සහ තුවාල ලැබූ දෙදෙනාට වන්දි ලබා දීමට කටයුතු කරන බවයි ලුතිනන් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර