ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුවෙන් ඉවත් වෙනවා - රතන හිමි

ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ සභාපති පූජ්‍ය අතුරළියේ රතන හිමියෝ පවසති.

පක්ෂ අභ්‍යන්තරය ගත් එම තීරණය අනුමත කර ගැනීම සඳහා සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳුදා රැස් වන බව එහිමියෝ සංදේශයේ සරෝජ් පතිරණ සමග කියා සිටියහ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු සිය පක්ෂය විසින් යොමු කරන ලද මූලික යෝජනාවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබී ඇති ප්‍රතිචාරය පිළිබඳ "තෘප්තිමත් විය නොහැකි" බවද එහිමියෝ සඳහන් කළහ.

සිය පක්ෂයේ ඉල්ලීම්වලට ජනාධිපතිවරණයෙන් පසු ප්‍රතිචාර දක්වන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලිපියක් ලැබුණු බව බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්ම්න්පිල සිකුරාදා සංදේශයට කියා සිටියේය.

"අපි පැහැදිලිව කිව්වා ජනාධිපතිවරණයට ප්‍රථම ආණ්ඩුවේ තුනෙන් දෙක පාවිච්චි කරලා මේ සංශෝධනය කළ යුතුයි කියලා. එහෙම සුදානමක් කිසිසේත්ම නැති බව බොහොම පැහැදිලිව පේනවා," යනුවෙන් අතුරළියේ රතන හිමියෝ සඳහන් කළහ.

සියලු පක්ෂ එක් වී සාකච්ඡා නොකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කිසි කණ්ඩායමක අවශ්‍යතාවය මත පමණක් ජනාධිපතිවරණය හදිසියෙන් කැඳවීමට සැරසෙන බවද ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරළියේ රතන හිමි වැඩි දුරටත් කියා සිටියහ.