ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ප්‍රසූත වේදනාව පියවරුන්ට

මෙතෙක් මවට පමණක් උරුම වූ ප්‍රසූත වේදනාව පුරුෂයන්ටත් අත්විඳීමට අවස්ථාවක් චීනයේ රෝහලක් ලබා දී තිබේ.

විද්‍යුත් උපකරණ භාවිතයෙන් ප්‍රසූත වේදනාවට සමාන වේදනාවක් පිරිමින්ට ලබා දීමෙන් තම බිරිඳ වැඩි ආදරයකින් රැක බලා ගැනීමට චීන පියවරුන් පෙළඹෙතැයි රෝහල් බලධාරීහු විශ්වාස කරති.

පියවරුන් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ප්‍රසූත වේදනාව ලබා දීමට කටයුතු සලසා ඇත්තේ චීනයේ නැගෙනහිර පළාතේ රෝහලක්.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පියවරුන්ට පමණක් මෙම රෝහලේදී ඉහත කී සේවය ලබා ගත හැක.

විද්‍යුත් උපකරණයකින් පැමිණෙන රැහැන් දෙකක් උදරය දෙපස අලවා උපකරණය ක්‍රියාත්මක කෙරෙන අතර ඉන් ඉලෙක්ට්‍රොනික ධාරාවක් ශරීර ගත කැරෙනු ඇත.

මව් පදවිය ලද තම බිරින්දෑවරුන් හොඳින් රැක බලා ගැනීමටත් ඔවුනට වැඩි ආදරයක් දැක්වීමටත් ප්‍රසූත වේදනාව අත් විඳි චීන පියවරුන් සපථ කරන බවයි රෝහලේ සාත්තු සේවිකාවන් පවසන්නේ.