සාක් බල ශක්ති සහයෝගිතා ගිවිසුමක්

Image copyright Syed Akbaruddin

දකුණු ආසියානු කලාපීය රටවල් බල ශක්ති සහයෝගිතා ගිවිසුමක් අත්සන් තබයි.

මේ අනුව සාක් සංවිධානයේ රටවලට දේශ සීමා හරහා විදුලිය අලෙවි කිරීමට ඉඩ කඩ සැලසේ.

නේපාල විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයකුට අනුව සාක් බල ශක්ති සහයෝගිතාව යටතේ විදුලිය බෙදා හැරීම සහ සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීමට හැකියාව ලැබේ.

බලය ලත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට විදුලිය මිලදී ගෙන අලෙවි කිරීමට ඉඩ ලබා දීමට ද සාක් රටවල් එකඟ වී තිබේ.

විදුලි උත්පාදනය

සාක් රටවල් ඇති කර ගත් මෙම ගිවිසුම මගින් විදුලි උත්පාදනය වැඩි කොට බෙදා හරිමින් සමස්ත කලාපයම සම්බන්ධ කරමින් අන්තර් කලාපීය ක්‍රියාකාරකම් නැංවීම අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසූහ.

මේ සමඟ බදු සහ වෙනත් ගෙවීම් ක්‍රමයෙන් ඉවත් කිරීමට බලාපොරොත්තු වෙයි.

එහෙත් කලාපීය සමුළුවේ දී සැලසුම් කළ වෙනත් ගිවිසුම් අනුමත කර ගැනීමට නොහැකි වී තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ පාකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් අතර එතරම් උද්යෝගිමත් බවක් බවක් අද බ්‍රහස්පතින්දා දක්නට නොලැබුණු බවටයි වාර්තාවුනේ.

ඔවුන් අතට අත දී සුහද බව පල කරමින් ත්‍යාග හුවමාරු කර ගත්තත් ඊයේ, බදාදා දෙදෙනාම එකිනෙකා නොසලකා හරින තත්වයක් ද දක්නට ලැබිණ.

සාර්ක් සංවිධානයේ 18 වන මහා සමුළුව නේපාලයේ කත්මන්ඩු නුවර දී පැවැත්විණ.

මෙවර සමුළුවේ තේමාව වූයේ සාමය හා සමෘද්ධිය සඳහා සාමුහිකව ක්‍රියා කරමු යන්නයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර