උතුරු කොරියානුවන්ට තහනම් නමක්

Image copyright Reuters

උතුරු කොරියානු පාලක කිම් ජොන් උන් ගේ නම සහිත පුරවැසියන් වේ නම් එම නම් වෙනස් කර ගන්නා ලෙස බලධාරීන් මහජනතාවට නියෝග කරනු ලැබ ඇතැයි දකුණු කොරියානු වාර්තා මගින් පැවසෙයි.

වත්මන් පාලක කිම් ජොන් උන් ගේ පියා වන කිම් ජොන් ඉල් පාලන සමයේ 2011 වසරේ නිකුත් කෙරුණ මීට අදාළ පැරණි නිල ආඥාවක් තමන්ට දක්නට ලැබුණ අතර එය අදටත් බල පැවැත්වෙන බව එම දකුණු කොරියානු වාර්තාවන්හි දැක්වෙයි.

එම නියෝගය අනුව අලුතින් උපදින දරුවන්ට කිම් ජොන් උන් යනුවෙන් නම් තැබීම තහනම් කෙරෙයි.

එපමණක් නොව, දැනටමත් එම නම පාවිච්චි කරන අය වේ නම් ඔවුන් සිය උප්පැන්න සහතිකයෙන් සහ පදිංචි නිවාස ලියා පදිංචි කිරීමේ නාම ලේඛනයෙන් සිය නම ඉවත් කර ගත යුතු බව උතුරු කොරියානු බලධාරීන්ගේ නිල ආඥාවේ සඳහන් වන බවයි ඉහත කී දකුණු කොරියානු ආරංචි මාර්ග මගින් වැඩිදුරටත් පැවසෙන්නේ.

නම් තැබීම

මෙය උතුරු කොරියානු වැසියන්ගෙන් කොපමණ සංඛ්‍යාවකට බල පැවැත්වෙන්නේද යන්න පැහැදිලි නැති නමුත් රටේ පවුල් වලින් 20% ක් පමණ ‘කිම්’ යන පාරම්පරික නාමය උරුම කර ගන්නා බවයි පැවසෙන්නේ.

දෙමව් පියන් විසින් ‘ජොන් උන්’යන නම සිය දරුවන් සඳහා තෝරා ගැනීමත් උතුරු කොරියාවේ දුර්ලභ නොවන සංසිද්ධියකි.

වත්මන් පාලක කිම් ජොන් උන් ගේ මෙන්ම ඔහුගේ පියාගේ සහ මුත්තනුවන් වූ කිම් ඉල් සුං ගේ පාලන සමයන්හිදීත් උතුරු කොරියාවේ මෙවැනි නියෝග බල පැවැත්වුන බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර