ඉන්දියාවේ තේ කර්මාන්තය බිඳ වැටෙන ලකුණු

ඉන්දියාව ලොව පුරා නම් ලද ඉතා ප්‍රසිද්ධ තේ වර්ග සපයන රටකි.

ඩාජලින් වැනි ප්‍රසිද්ධ තේ වර්ග නිපදවන්නේ හිමාලය කඳුකරයේ පිහිටා තිබෙන තේ වතු වලිනි.

නමුත් දේශීය තේ වෙළඳපොළට තේ සපයන වගාවන් ඉතා ඉහල නිෂ්පාදන වියදම සහ පහළ වෙළඳපොල මිල ගණන් හේතුවෙන් පීඩාවට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් බොහොමයක් දේශීය වෙළඳපොළට තේ සපයන තේ වතු සහ කම්හල් බංකොලොත් තත්වයකට පත් වී ඇති අතර කම්කරුවන්ට රැකියා අහිමි වී තිබේ.

දකුණු බෙංගාලයේ එලෙස පාඩු ලබන තේ වතු කම්හල් වල කම්කරුවන් සමග සාකච්ඡාවක යෙදුනු බීබීසි වාර්තාකරු සංජොයි මජුම්දර් කියා සිටියේ කම්කරුවන්ට ලැබෙන වැටුප් ඉතා පහළ අගයක් ගන්නා අතර මාස කිහිපයකට වරක් සුළු මුදලක් වැටුප් වශයෙන් ඔවුන්ට ලැබෙන බවයි.

කෝපයට පත් කම්කරුවන් විසින් එක් තේ කම්හලක හිමිකරුවකු ඔහුගේ නිවසින් පිටතට ගෙන ගොස් පහර දීමෙන් ඝාතනයට ලක් කොට ඇති අතර දේශීය වෙළඳපොළට තේ සපයන කම්හල් හිමියන් එම සිදුවීමෙන් භීතියට පත්ව තිබේ.

බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් මීට වසර එකසිය පනහකට පෙර තේ වතු අබියස ඉදි කරන ලද ටකරම් කොලනි වල තවමත් ජීවත් වන තේ කම්කරුවන් කියා සිටින්නේ මෙම තත්වය නිසා තමන් ඉතා අසරණ තත්වයකට පත්ව සිටින බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර