තාලිබාන් ප්‍රහාරයකින් පාසැල් සිසුන් මරා දැමෙයි

Image copyright Reuters

පකිස්ථානයේ පෙශාවාර් නගරයේ පාසලකට තාලිබාන් කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් ඇතුළු එකසිය විසි හය දෙනෙකු පමණ මරා දමා තිබේ.

හමුදා ඇඳුමින් සැරසුණු කැරලිකරුවන් කිහිප දෙනෙකු පාසලට ඇතුළු වීමෙන් අනතුරුව වෙඩි හඬ සහ බෝම්බ පුපුරණ හඬ ඇසෙන්නට පටන් ගත් බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයට ලක් වූ පාසැල පකිස්තානු හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන අතර මිය ගොස් ඇති අයගෙන් බහුතරය පාසැල් සිසුන් බව ප්‍රදේශීය බලධාරීහු පවසති.

Image copyright EPA

ප්‍රහාරය අතරතුර මෙම පාසල හමුදා භටයන් විසින් වටලනු ලැබ ඇති අතර එහි සිටි සිසුන් පන්සියයක් පමණ දෙනා පාසලෙන් ඉවත් කර ගත් බව පකිස්තානු හමුදාව පවසයි.

නමුත් තවමත් කොපමණ සිසුන් ප්‍රමාණයක් ප්‍රාණ ඇපකරුවන් බවට පත් වී තිබේදැයි පැහැදිලි නැත.

තාලිබාන් කැරැල්ලට එරෙහිව පකිස්තානු හමුදාව දියත් කර ඇති මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව තලිබාන් ප්‍රකාශකයෙක් පවසා තිබේ.

පකිස්තානයේ උතුරු වසිරිස්තාන ප්‍රදේශයේ සිදු කර ඇති හමුදා මෙහෙයුම් නිසා තාලිබාන් කැරලිකරුවන් සිය ගණනක් මරණයට පත් වී ඇති බව විශ්වාස කෙරේ.

Image copyright AP
Image copyright AP
Image copyright Reuters

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර