මුස්ලිම් රැකවරණයට යුදෙව්වන්

‘පෙගිඩා’ (Pegida) නම් ඉස්ලාම් විරෝධී රැල්ලට එරෙහිව ජර්මනියේ මධ්‍යම යුදෙව් බල මණ්ඩලයේ සභාපතිවරයා ඉදිරිපත්ව සිටියි.

‘පෙගිඩා’ වැඩෙමින් පවතින ඉස්ලාම් විරෝධී ව්‍යාපාරයකි.

ජර්මනියේ මධ්‍යම යුදෙව් බල මණ්ඩලයේ සභාපති ජෝශප් ෂුස්ටර් (Josef Schuster) ජර්මනියේ පළ වන ‘දී වෙල්ට්’ (die Welt) පුවත්පතට ප්‍රකාශ කළේ ඉස්ලාම් විරෝධී මානසිකත්වය සමස්ථ ඉස්ලාම් ආගම අපකීර්තියට පත් කිරීමට යොදා ගැනීම අනුමත කළ නොහැකි බවයි.

ඉස්ලාම් විරෝධී ව්‍යාපාර පෙරට ගෙන යාමට ‘පෙගිඩා’ සංවිධානය විසින් සිදු කරනු ලබන සැලසුම් ජර්මනියේ රෝමානු කතෝලික පල්ලියේ ද නොසතුටට හේතු වී ඇත.

‘පෙගිඩා’ යනු ‘බටහිර ඉස්ලාම්කරණයට එරෙහි යුරෝපීය දේශප්‍රේමීන්’ යන අදහස සංක්‍ෂිප්ත කරමින් වචන කීපයක මුල් අකුරු ගෙන ජර්මන් භාෂාවෙන් නිර්මාණය කර ගත් යෙදුමකි.

පසුගිය සඳුදා ‘පෙගිඩා’ සංවිධානය ආරම්භ කෙරුණ ඩ්‍රෙස්ඩන් (Dresden) නගරයේ පැවැත්වුණු විරෝධතා ව්‍යාපාරයකට දහස් ගණනක් ජනතාව රැස් වී සිටි බවයි පැවසෙන්නේ.

ඔවුන්ගේ ඉල්ලීම් වන්නේ ආගමන නීති රීති දැඩි කිරීම මගින් ඉස්ලාම්කරණය නතර කරන ලෙසයි.