‘කොරියන් එයාර්’ අධිපතිගේ දියණිය අත් අඩංගුවට

Image copyright Reuters
Image caption තමාගේ මෙම ක්‍රියාව පිළිබඳව ඇය සමාව ඉල්ලා සිටියාය

ගුවන් සේවකයා විසින් තමාට රට කජු ලබා දුන් ආකාරය පිලිබඳ නො සතුටට පත් වී ගුවන් යානය ප්‍රමාද කිරීමට කටයුතු කළ දකුණු කොරියානු ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරිනියක අත් අඩංගුවට ගෙන තිබේ.

දකුණු කොරියානු අධිකරණය මගින් චෝ හියුන් අත් අඩංගුවට ගැනීමට නියෝග කිරීමෙන් පසු ඇය රැගෙන යන ආකාරය රූපවාහිනිය ඔස්සේ ප්‍රදර්ශනය කෙරිණි.

දකුණු කොරියානු ගුවන්සේවයේ ප්‍රධානියා ගේ දියණිය වන චෝ මෙනෙවිය ගුවන් සේවා ආරක්ෂාව පිලිබඳ නීති කඩ කිරීම සහ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ වැඩකටයුතු වලට බාධා කිරීම යන චෝදනා අත් අඩංගුවට පත් වූ බවයි පැවසෙන්නේ.

කුඩා පිඟානකට නො බෙදා කවරයක තිබූ රට කජු පමණක් ලබා දීම පිළිබඳව උරණ වූ ඇය ගුවන් යානය නිව් යෝර්ක් JFK ගුවන් පථයේ ආපසු රැගෙන යන ලෙස පවසා තිබේ.

Image copyright Reuters
Image caption අත් අඩංගුවට ගැනීමේ අධිකරණ තීන්දුවෙන් පසු සෝල් නුවර රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගිය බවයි පැවසෙන්නේ

ලිපිගොනු කවරයකින් පහරදීලා

ඉන්පසු ඒ මොහොතේම ගුවන් සේවකයා සේවයෙන් පහ කර දමා ගුවන් තොටුපලේ අත්හැර දමා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ගුවන් යානයේ කාර්යමණ්ඩලයේ ප්‍රධානියා වන පාර්ක් චෑන් ජින් දණගස්වා සමාව අයැදීමට බලකර ලිපිගොනු කවරයකින් ඔහුට පහර දීමෙන් කායික අතවරයකට ලක් කළේ යැයි ඇයට එරෙහිව පවතින චෝදනාව ඇය ප්‍රතික්ෂේප කර තිබේ.

ගුවන් සේවිකාවක විසින් රටකජු විශේෂයක් සහිත බෑගයක් චෝ මෙනෙවියට දුන් පසු ඇයට නොහොබිනා ලෙස බැනවැදී ඇති බවයි පැවසෙන්නේ. . හෙදර් චෝ නමින් ද හැඳින්වෙන චෝ මෙනෙවිය දැනටමත් සිදුවීම පිළිබඳව සමාව ඉල්ලා ඇති අතර ඇය දරමින් සිටි ගුවන් සේවා විධායක තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

“මට සමා වෙන්න ! ”

අඟහරුවාදා විකාශනය කළ රුපවාහිනී දර්ශන මගින් පෙන්වා තිබුණේ හතලිස් වියැති චෝ පොලිස් නිලධාරීන් විසින් රැගෙන යන ආකාරයත් හිස නමා ගෙන යන ඇයගෙන් වාර්තා කරුවකු ප්‍රශ්න කරද්දී “මට සමා වෙන්න” යනුවෙන් පැවසූ ආකාරයත්ය.

මෙම සිදුවීමට අදාල ලිපිද්‍රවය විනාශ කිරීම පිළිබඳව තවත් ගුවන්සේවා විධායක නිලධාරියෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මේ සිදුවීමට අදාලව විනය පරීක්ෂණයන්ට මුහුණ දීමට ගුවන් සමාගමට සිදුවන බවයි දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබුණේ.

චෝ අත් අඩංගුවට ගැනීමේ අධිකරණ තීන්දුවෙන් පසු සෝල් නුවර රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගොස් තිබේ.

අර්ධ ගුවන් ගමන් තහනමක්

කොරියන් එයාර් සමගම අර්ධ ගුවන් ගමන් තහනමකට හෝ දඩයකට ලක්වීමට ඉඩ ඇති බවයි අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

මේ සිදුවීම නිසා සෝල් නුවර බලා ගමන් ගනිමින් තිබූ එම යානය ප්‍රමාද වූ බවයි පැවසෙන්නේ.

තම දියණියගේ මෝඩ ක්‍රියාව පිළිබඳව කොරියන් එයාර් සභාපති සමාව ඉල්ලා තිබෙන අතර ඇය සහ චෝ පවුලට අයත් හන්ජින් ගෘප් සහ කොරියන් එයාර් සමාගම් වල තනතුරු වලින් ඉවත්වන බවද පවසා තිබේ.

වාර්තාකරුවන් පවසන්නේ මෙම සිදුවීම දකුණු කොරියාවේ ධනවත් පවුල් වලට අයත් සමාගම් වලට තම දරුවන් ප්‍රමුඛත්වයේ ලා සැලකීමට අවස්තාව දිය යුතුද යන්න පිළිබඳව සංවාදයකට තුඩු දී ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර