පැරිස් නුවර ප්‍රහාරකයන් හඳුනා ගැනේ

Image copyright Getty

පසුගිය බදාදා පැරිස් නුවර සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට මිනිත්තුවක නිශ්ශබ්ද කාලයක් නම් කිරීමට ප්‍රංශ රජය පියවර ගෙන තිබේ.

මුහුණු ආවරණ පැළඳ ගත් තුවක්කු කරුවන් විසින් එල්ල කළ එම වෙඩි ප්‍රහාරයට ලක් වුයේ ‘චාර්ලි හෙබ්දෝ’ නම් ප්‍රංශ උපහාසාත්මක සඟරාවේ කාර්යාලයයි.

ප්‍රහාරකයන් සෙවීම සඳහා විශාල මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර තවත් වෙඩි තැබීමක් පැරිස් නුවරින් වාර්තා වී තිබේ.

මොරූජ් නම් ප්‍රදේශයේ මෝටර් රථ අනතුරක් සිදු වූ ස්ථානයක දී පුද්ගලයකු විසින් සිදු කර ඇති මෙම වෙඩි තැබීමෙන් පොලිස් කාන්තාවක් ඝාතනයට ලක් වී තිබේ.

පොලිස් මෙහෙයුම්

Image copyright AFP

මේ වන විට තුවක්කු කරුවන් තුන් දෙනෙකු සෙවීමේ මෙහෙයුම් වල පොලිසිය නිරත වී සිටින අතර පළමු වෙඩි ප්‍රහාරය සහ මොරූජ් වෙඩි ප්‍රහාරය අතර සම්බන්ධයක් පවතී ද යන්න තවමත් අනාවරණය වී නැත.

පොලිසිය සැක කරන්නේ සඟරා කාර්යාලයට එල්ල කෙරුණ වෙඩි ප්‍රහාරය තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් සිදු කර ඇති අතර ඔවුන් සොයුරන් වන බවයි.

ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට තුවක්කු කරුවන් සිටින ස්ථානය සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති අතර ප්‍රංශයේ උතුරු මාර්ගයක ඉන්ධන හලක කළමනාකරුවෙකු විසින් ප්‍රහාරකයන් හඳුනා ගෙන ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර