බිහාරයේ තිදෙනකු පුළුස්සා මරා දැමෙයි

Image copyright Reuters

උතුරු ඉන්දීය මුස්ලිම්වරු තිදෙනකු පණ පිටින් පුළුස්සා මරා දැමීම සම්බන්ධයෙන් සැකකරුවෝ දාහතර දෙනෙක් අත්අඩංගුවට පත් වෙති.

සතියකට වැඩි කාලයක් අතුරුදහන් වී සිටි බිහාර් ප්‍රාන්ත හින්දු තරුණයකුගේ මළසිරුර හමු වීමත් සමග ගම්වැසියන් ඉහත කී මුස්ලිම්වරු විසූ නිවෙස්වලට ගිනි තබා තිබේ.

මුස්ලිම් තරුණියක් සමග ආදර සම්බන්ධතාවක් පවත්වා ඇති දහනව හැවිරිදි හින්දු තරුණයා පැහැර ගෙන ගොස් ඝාතනය කර ඇතැයි ඉන්දීය පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසූ බව බීබීසී හින්දි සේවය වාර්තා කළේය.

ඉන්දියානුවන්ගෙන් සියයට අසූවකට වැඩි පිරිසක් හින්දු භක්තිකයන් වන අතර මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය සියයට දහතුනක්.

සමස්තයක් වශයෙන් හින්දු භක්තිකයන් සහ මුස්ලිම්වරු සාමකාමී දිවිපෙවතක් ගත කරන නමුත් වරින් වර මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා අසන්ට ලැබෙන බව වාර්තාකරුවෝ පවසති.