‘දූවරුන් ආරක්ෂා කරමු, ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙමු’- මෝඩි

Image copyright AP

අගමැති නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ කාන්තාවන්ට ලිංගිකත්වය මුල් කර ගෙන සිදු කරනු ලබන අසාධාරණයෙන් මුදවා ගැනීමට නව වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබේ.

දකුණු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පැවති ජන හමුවක් අමතමිනි අගමැතිවරයා මේ අදහස් පැවසුවේ.

අගමැති නරේන්ද්‍ර මෝඩි කියා සිටියේ ගැහැණු ළමුන්ට වඩා පිරිමි ළමුන් උසස් ලෙස සලකා ක්‍රියා කිරීම දහඅට වන සියවසේ හණමිටි මානසිකත්වයක් වන අතර එය මානසික ආබාධයක් වන බවයි.

ඉන්දියාවේ වැඩිම ලිංගික විෂමතාවයක් පවතින ප්‍රාන්තය හර්යානා වන අතර එම ප්‍රාන්තයේ ජනගහනයෙන් පිරිමින් එක්දහසකට ගැහැණු ජනගහනය අටසිය හැත්තෑ හතකි.

මෙම තත්වයට හේතුව වී ඇත්තේ එම ප්‍රාන්තයේ මව්වරුන් විසින් උපතින් වසරකට පසු ගැහැණු දරුවන් මරා දැමීම සහ ගැබිණි අවස්ථාවේ ස්කෑන් පරීක්ෂණයකින් පසු කළලය ගැහැණු දරුවෙක් නම් ගබ්සා සැත්කමට ලක් කිරීමයි.

අගමැතිවරයා විසින් හඳුන්වා දෙනු ලැබ ඇති වැඩසටහන හඳුන්වා ඇත්තේ ‘දූවරුන් ආරක්ෂා කරමු ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙමු’ යනුවෙනි.

මෙම වැඩසටහන යටතේ ලිංගිකත්වය මුල් කර ගෙන සිදු කරනු ලබන වෙනස්කම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ගැහැණු ළමුන් පාසල් යාමේ ප්‍රවණතාව ඉහළ නැංවීමටත් බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර