ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සවුදි අරාබි හිටපු රජුගේ රාජ්‍ය ප්‍රතිපත්ති දිගටම

සවුදි අරාබියේ හිටපු රජු අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් ගේ රාජ්‍ය ප්‍රතිපත්ති දිගටම අනුගමනය කරන බව සවුදි අරාබියේ නව රජු සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සවුඩ් ප්‍රකාශ කරයි.

අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් ඊයේ බ්‍රහස්පතිනදා අභාවප්‍රාප්ත විය.

මුස්ලිම් අරාබි රටවල් අතර එක්සත්කම සහ සහයෝගිතාව ඇති කර ගත යුතු බව රාජ්‍ය රුපවාහිනිය ඔස්සේ කථා කළ නව රජු සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සවුඩ් කියා සිටියේය.

විදේශ කටයුතු සහ ඉන්ධන සහ මුදල් යන ප්‍රධාන අමාත්‍යධුර වත්මන් ඇමතිවරුන් අතම පවත්වා ගෙන යාමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

නව රජු සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සවුඩ් දැරූ ආරක්ෂක අමාත්‍යධුරය ඔහුගේ පුත්‍රයා වන මොහොමඩ් බින් සල්මාන් වෙත පවරා තිබේ.

සවුදි අරාබිය ජිහාඩ්වාදීන්ගේ තර්ජන ඇතුළු අභියෝග රැසකට මුහුණ දී සිටින බවයි ආරක්ෂක කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු පවසන්නේ.

රජය විවේචනය කරන පුද්ගලයන්ට දඬුවම් කිරීමට ත්‍රස්ත විරෝධී නීති යොදා ගන්නා සෞදි රජය විසින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ ක්‍රම වේදයන්ට යොමුවීමේ අවශ්‍යතාවත් බීබීසී වාර්තාකරු පෙන්වා දෙයි.