ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඔබාමා ඉන්දීය ජාතික උත්සවයට සහභාගී වෙයි

ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ඉන්දීය ජාතික උත්සවයට සහභාගී වෙමින් සිටියි.

එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු ඉන්දීය ජාතික උත්සවයට සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ජාතික උත්සවය සැමරීම සඳහා පැවති හමුදා සංදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වූ ඇමරිකානු ජනපති බරක් ඔබාමා පිළිගනු ලැබුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින්.

මද වැසි සහිත කාලගුණය නොසලකා උත්සවය නැරඹීම සඳහා විශාල ජනකායක් පැමිණ සිටියහ.

ඇමරිකානු ජනාධිපතිවරයා ඉන්දීය ජාතික උත්සවයට සහභාගී වීමත් සමග දෙරටේ නායකයන් අතර පවතින සමීප සබඳතා තවදුරටත් වර්ධනය වන බවක් දක්නට ලැබේ.

ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර න්‍යෂ්ටික බල ශක්ති සහයෝගීතාවයක් ඇති කර ගැනීම සඳහා එකඟතාවකට පැමිණි බව දෙරටේ නායකයෝ ඉරිදා නිවේදනය කළහ.

කාලාන්තරයක් මුළුල්ලේ කල් යමින් පැවති එම බලාපොරොත්තුව සඵල වූ බව ජනාධිපති ඔබාමා සහ අගමැති මෝදි නිවේදනය කළේ මාධ්‍ය හමුවක් අමතමින්.

ඊට අමතරව දෙරටේ ආරක්ෂාව පිළිබඳ නව ව්‍යාපෘති ඇති කර ගැනීමටත් ද්විපාර්ශ්වීය වෙළඳ සහයෝගිතාව වර්ධනය කර ගැනීමටත් ගිවිස ගත් බව දිල්ලි අගනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති ඔබාමා සහ අගමැති මෝදි පැවසූහ.