මානවීය අර්බුදයට මම වග කියන්නේ නැහැ -සිරියානු ජනපති

Image caption සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් බීබීසීයට කතා කරමින්

සිව් වසරක් පුරා පවතින යුද්ධයෙන් සිරියාවේ ඇති වී තිබෙන මානවීය අර්බුදය සම්බන්ධයෙන් තමාට වගකිව නොහැකි බව සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පවසයි.

බීබීසීයට කතා කරමින් ඔහු තවදුරටත් කියා සිටියේ තම හමුදාව බැරල් බෝම්බ යොදා ගනිමින් සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මරණයට පත් කළ බවට පවතින චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

තම හමුදාව වග විභාගයකින් තොරව අවි ආයුධ පරිහරණය නොකළ බව ද සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් ප්‍රකාශ කළේය.

‘මම දන්නවා හමුදාව ගැන. ඔවුන් වෙඩි උණ්ඩ, මිසයිල සහ බෝම්බ පාවිච්චි කරනවා. හමුදාව බැරල් පාවිච්චි කරන බවක් මම අහල නැහැ.’ ඔහු පැවසීය.

Image copyright Reuters

නමුත් මානව හිමිකම් සංවිධාන පවසන්නේ බෝම්බ හෙළීම සඳහා හෙලිකොප්ටර් යානා යොදා ගැනීමේ හැකියාව තිබුණේ සිරියානු හමුදාවට පමණක් බවයි.

කැරලිකරුවන් අල්ලා ගෙන තිබුණු ප්‍රදේශ සිරියානු හමුදාව වට කර සිටීම නිසා එම පෙදෙස්වල සිටින සාමාන්‍ය ජනතාව කුස ගින්නේ සිටින බවට නැගෙන චෝදනා ද සිරියානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි.

තම හමුදාව ප්‍රහාර එල්ල කළ බොහෝ ප්‍රදේශවලින් සාමාන්‍ය ජනතාව පලා ගොස් සිටි බවත් ඉතිරි වී ඇත්තේ කැරලිකරුවන් පමණක් බවත් ඔහු තවදුරටත් පැවසීය.

Image copyright Reuters