ඊශ්‍රායල මුහුදු පත්ලෙන් රත්‍රන් කාසි 2000

දිය යට කිමිදෙන්නන් පිරිසක් ඊශ්‍රායල මධ්‍යධරනී වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදේදී අහඹු ලෙස රත්රන් කාසි විශාල තොගයක් සොයා ගනිති.

ඊශ්‍රායල පුරා වස්තු අධිකාරියේ කිමිදෙන්නන් විසින් මුහුදු පතුලේ තිබී වසර දහසක් පමණ ඉපැරණි රත්‍රන් කාසි 2000 ක් පමණ මෙසේ සොයා ගෙන තිබේ.

මුලින්ම එම කාසි දුටු ඔවුන් විශ්වාස කළේ ඒවා සෙල්ලම් බඩු තොගයක් ලෙසයි.

නමුත් තමන් සොයා ගෙන තිබෙන්නේ ඉතා වැදගත් කමක් ගන්නා රන් කාසි බව වටහා ගැනීමට ඔවුන්ට වැඩි කාලයක් ගත නොවීය.

ඒවා ඉතා වටිනා බවත් මිල කල නොහැකි බවත් ඊශ්‍රායල පුරා වස්තු අධිකාරිය පැවසුවේය.

වරාය ගවේෂණය

රත්‍රන් කාසි තොගය සොයා ගන්නා විට කිමිදෙන්නන් පැරණි සීසරියා වරාය ගවේෂණය කරමිනුයි සිටියේ.

කාසි කිහිපයක් අහුලා ගත් ඔවුන් ඒවා රැගෙනවිත් තම අධ්‍යක්ෂවරයාට බාර දී තිබේ.

ඒම ස්ථානයට පැමිණි විශේෂඥයන් විසින් විවිධ වටිනාකම් වලින් යුත් රත්‍රන් කාසි 2000 ගොඩ ගන්නා ලදී.

වසර 909 සිට 1171 දක්වා මැද පෙරදිග සහ උතුරු ඇමරිකාව පාලන කළ පැටිමිඩ් රාජ වංශය විසින් ඒවා පරිහරණය කර ඇති බවට විශ්වාශ කෙරේ.

ඊශ්‍රායල පුරා වස්තු අධිකාරිය විසින් එම රන් කාසි වල වටිනාකම දක්වා නැත.

Image copyright AFPISRAEL ANTIQUITIES AUTHORITYKOBI SHARVIT

ඊශ්‍රායල පුරා වස්තු අධිකාරියේ මුහුදු පුරාවස්තු බාර අධ්‍යක්ෂ කොබි ශර්විට් (Kobi Sharvit)පැවසුවේ මෙම රන් කාසි වල සුල මුල සොයා ගැනීම පිණිස කැනීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

බදු මුදල් වශයෙන් රන් කාසි රැගෙන ආ බෝට්ටුවක් ඊජිප්තුව බලා යමින් තිබියදී කඩා වැටෙන්නට ඇතැයි තමා විස්වාශ කරන බව ඔහු පැවසුවේය.

පැටිමිඩ් යුද හමුදාව

සීසරියා පළාතේ පැටිමිඩ් යුද හමුදා භට කණ්ඩායම්වල වේතන ගෙවීම සඳහා එම රන් කාසි ගෙන යන්නට ඇති බව සිතන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මධ්‍යධරනී මුහුදු වරාය සහ වෙරළාසන්න නගරවල වෙළෙඳාමේ නිරත විශාල නෞකාවක එම රන් කාසි තිබිය හැකි බව ඔහු දක්වන තවත් මතයක්.

එම රත්‍රන් කාසි තොගයේ බර කිලෝ ග්‍රෑම් 9 ක් වන අතර දැන් ඒවා ඊශ්‍රායල රජයේ වත්කම් බවට පත් වෙයි.