මහම්මාත් තුමාගේ කාටුන්වලට බ්‍රිතාන්‍ය බහුතර මුස්ලිම් ජනතා විරෝධය

මහම්මාත් තුමාගේ කාටුන් රූප ප්‍රකාශයට පත් කරන පුද්ගලයන්ට එරෙහිව මුදා හැරෙන ප්‍රචණ්ඩත්වයට බ්‍රිතාන්‍යයේ වෙසෙන බහුතර මුස්ලිම් ජනතාවගෙන් විරෝධය පල වන බව බීබීසිය වෙනුවෙන් කළ සමීක්ෂණයකින් පෙන්නුම් කරයි.

එසේම බොහෝ දෙනෙක්, බටහිර රටවලට වැදගත් වන දේවලට එරෙහිව ක්‍රියා කරන්නන් කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොදක්වන බවත් එම සමීක්ෂණය මගින් ඉඟි කර තිබේ.

Image copyright BBC World Service
Image copyright BBC World Service

එහෙත් ComRes ආයතනය මගින් පැවැත්වූ සමීක්ෂණයට එක්වූ මුස්ලිම් ජාතිකයන් දහසක් දෙනාගෙන් සියයට 27 ක් පැරිස් ප්‍රහාරයට පොලඹවන ලද හේතු සම්බන්ධයෙන් තම අනුවේදනය පල කොට ඇත.

මහම්මාත් තුමාගේ කාටුන් රූප පල කිරීම ඉතාමත්ම අහිතකර බවයි 80% පමණ ප්‍රකාශ කළේ.

සමීක්ෂණයට සහභාගිවූ බ්‍රිතාන්‍යයේ මුස්ලිම් ජනතාවගෙන් සියයට අනු පහක් (95%) සඳහන් කළේ ඔවුන් බ්‍රිතාන්‍යයට පක්ෂපාතීත් වය දක්වන බවයි.

බ්‍රිතාන්‍ය නීති

බ්‍රිතාන්‍ය නීති වලට ගරු කළ යුතු බව සියයට අනූ තුනක් (93%) ප්‍රකාශ කළහ.

ඉස්ලාම් දහමට එරෙහිව අගතිගාමීවීම බ්‍රිතාන්‍යයේ මුස්ලිම් ජාතිකයකු ලෙස ජීවත්වීමට අපහසු කරන බවයි 46% පැවසුවේ.

මහමද්තුමාගේ කාටුන් රූප ප්‍රකාශයට පත් කිරීම තුළින් තමන්ට අපහාසයක් ලෙස සලකන බවයි 78% කගේ අදහස.

බටහිර රටවලට වැදගත් වන දේවලට එරහිව සටන් කිරීමට අවශ්‍ය පුද්ගලයන් කෙරෙහි අනුකම්පාව පල කරන පිරිස 11% කි.

සමීක්ෂණයේදී ප්‍රතිචාර පල කල තුනේ දෙකකට වැඩි පිරිස සඳහන් කළේ මහම්මාත් තුමාගේ කාටුන් රූප ප්‍රකාශයට පත් කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවයි .

එහෙත් ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 20 වැනිදා දක්වා පැවැත්වූ මෙම සමීක්ෂණයට එක්වූ බ්‍රිතාන්‍යයේ මුස්ලිම් වැසියන්ගෙන් 32% කියා සිටියේ මහමද්තුමාගේ කාටුන් රූප ප්‍රකාශයට පත් කළ චාර්ලි හෙබ්ඩෝ උපහාසාත්මක සඟරාවේ කාර්යාලයට පහර දීම සහ පැරිසියේ යුදෙව්වන් සඳහා වූ සුපිරි වෙළෙඳ සලට පහර දීමෙන් තමන් විමතියට පත් නොවූ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර