නෙම්ත්සොෆ් ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවේ

Image copyright Reuters

විරුද්ධ පක්ෂ නායකයකු වන බොරිස් නෙම්ත්සොෆ් (Nemtsov) වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රුසියාවේ බලධාරීන් විසින් පුද්ගලයන් දෙදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

විරුද්ධ පක්ෂ නායකයා පසුගිය සතියේ මරා දැමුණේ මොස්කව් අගනුවර ‘ක්‍රෙම්ලිනය’ අසලදී.

අත්අඩංගුවට ගනු ලැබ සිටින සැක කරුවන් දෙදෙනා උතුරු කොකේසියානුවන් දෙදෙනකු බවත් වාර්තා වෙයි.

බොරිස් නෙම්ත්සොෆ් ජනාධිපති ව්ලදිමීර් පුතින් දැඩි ලෙස විවේචනයට ලක් කළ දේශපාලනඥයෙකි.

ඔහු ඝාතනය කරනු ලැබීම සම්බන්ධයෙන් රුසියානු ආණ්ඩුව වගකිව යුතු බව නෙම්ත්සොෆ් හිතවාදීන් පැවසුවත් එය ජනතාව කුපිත කිරීමේ අරමුණින් සිදු කළ ඝාතනයක් බවයි ජනාධිපති පුතින් පවසන්නේ.

රුසියානු ආණ්ඩුවේ ආරක්ෂක අංශ ප්‍රධානී අලෙක්සන්දර් බොර්ට්නිකොව් (Alexander Bortnikov) රුසියාවේ ජාතික රුපවාහිනියේ පෙනී සිටිමින් කියා සිටියේ, මෙතෙක් සිදු කෙරුණ පරීක්ෂණ අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

“මම කැමතියි ඔබට දැනුම් දෙන්න, අප විසින් කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස සැක කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වුන බව. අත්අඩංගුවට ගෙන සිටින්නේ අන්zසර් ගුබාශෙෆ් (Anzor Gubashev) සහ Zසෝර් දදායෙෆ් (Zaur Dadayev) කියල දෙන්නෙක්. අපි දැනුම් දීල තියනවා - රාජ්‍ය නායකයා වෙත මේ අළුත් සාර්ථකත්වය පිළිබඳව. ඒ සමගම මෙහෙයුම් සහ අදාළ ක්‍රියාමාර්ග තව දුරටත් නොකඩවා දිගටම ක්‍රියාත්මක කෙරෙනවා’ රුසියානු ආණ්ඩුවේ ආරක්ෂක අංශ ප්‍රධානී අලෙක්සන්දර් බොර්ට්නිකොෆ් ප්‍රකාශ කරයි.