ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සූර්ය බලශක්ති යානයක් ලෝක සවාරියක

සූර්ය තාප බල ශක්තියෙන් පියාසර කරන ගුවන් යානයක් අද (09) සිය පළමු ගුවන් ගමනේ නිරත විය.

පොසීල ඉන්ධන බිඳුවකුදු පාවිච්චි නොකර ලෝකය වටා පියාසර කිරීමේ මාස පහක සංචාරයක් සඳහා මුල පුරමිනුයි එම ගුවන් ගමන සිදු කෙරුණේ.

‘Solar Impulse Two’ යනුවෙන් නම් තබනු ලැබ ඇති යානය සිය පළමු ගුවන් ගමන අබුඩාබි නගරයෙන් ආරම්භ කළ අතර අද ගමනාන්තය වුනේ ඕමානයයි.

ඕමානයේ ‘මස්කට්’ අගනුවර නැගෙනහිර කලාපය කරා යානය ගමන් ගත් බවයි වාර්තා වන්නේ.

තනි අසුනේ ‘Solar Impulse Two’ යානය පවුලේ පාවිච්චියට ප්‍රමාණවත් මෝටර් රථයකට සමාන බරකින් යුක්ත වුනත් එහි පියාපත් ‘ජම්බෝ’ ජෙට් යානයක තරම් විශාලයි. එම පියාපත් සූර්ය තාප ආකර්ෂණය කර ගනු ලබන පුවරුවලින් ආවරණය කරනු ලැබයි තිබෙන්නේ.

පුනර්ජනනීය බල ශක්තිය

සැලසුම් කර ඇති ලෝක සවාරියේ දී එහි නියමුවන් දෙදෙනා වන බර්ට්‍රන්ඩ් පිකාර්ඩ් (Bertrand Piccard) සහ අන්ද්‍රේ බොර්ච්බර්ග් (Borschberg) මාරුවෙන් මාරුවට යානය පැදවීමට නියමිතයි.

සිය ලෝක සවාරියේදී යානය ගොඩ බානු ලබන්නේ ස්ථාන එකොළහකට පමණයි.

ගුවන් නියමු බර්ට්‍රන්ඩ් පිකාර්ඩ් බීබීසියට ප්‍රකාශයක් කරමින් ‘පුනර්ජනනීය බල ශක්තිය මගින් ලද හැකි ජයග්‍රහණ ලොවට පෙන්නුම් කිරීම තම අභිලාශය වන බවයි කියා සිටියේ.

‘Solar Impulse Two’ යානයේ සංචාරය යළි ‘අබුඩාබි’නගරයෙන් නිම කෙරෙන අතර එම ගමනේ දී එය ඉන්දියාව,චීනය,හවායි සහ නිව්යෝර්ක් වැනි ස්ථාන එකොළහකයි ගොඩ බානු ලබන්නේ.