ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බංග්ලාදේශ් තවත් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

සිමෙන්ති කර්මාන්ත ශාලාවක මහල් කීපයක ගොඩනැගිල්ලකින් අඩක් කඩා වැටීමෙන් අට දෙනකු මරණයට පත් වූ අතර, තවත් පුද්ගලයන් රැසකට සිදු වූ දෙයක් දැන ගන්නට නැතැයි බංග්ලාදේශ් බේරා ගැනීමේ කණ්ඩායම් පවසති.

‘මොන්ග්ලා’ නම් වරාය නගරයේ වැඩ නිම නොවූ ගොඩනැගිල්ලේ වහල ගැලවී ගොඩනැගිල්ල මතට කඩා වැටුන අවස්ථාවේ ඉදි කිරීමේ කම්කරුවන් සිය දෙනකු පමණ එහි සිටි බවයි, වාර්තා වන්නේ.

කම්කරුවන් හැටක් පමණ ඉවත් කර ගත් බවයි අලුතින්ම ලද වාර්තා මගින් ප්‍රකාශ වන්නේ.

ඔවුන්ගෙන් ඇතැමෙක් තුවාල ලැබ සිටින අතර ඔවුන් රෝහල් ගත කරන ලද බවත් වාර්තා වෙයි.

ඩකා අගනුවරින් නිරිත දිග දෙස පිහිටි ‘මොන්ග්ලා’ වරාය නගරයේ යුද හමුදා ශුභ සාධක අරමුදලකට අයත් ගොඩනැගිල්ලකුයි කඩා වැටී තිබෙන්නේ.

කඩා වැටුන ගොඩනැගිල්ල චීන ව්‍යාපෘතියක් බවයි පැවසෙන්නේ.