ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වනවාටු පෑම් කුණාටුව: 'වහා ආධාර අවශ්‍යයි'

‘පෑම්’කුණාටුවට හසු වූ වනවාටු දූපත්වලට කඩිනම් ආධාර ලබා දෙන මෙන් ජනාධිපති බැල්ඩ්වින් ලොන්ස්ඩෙල් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

ශාන්තිකර සාගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි වනවාටු දුපත් හරහා සිකුරාදා හමා ගිය කුණාටුවෙන් එහි පිහිටි ගොඩනැගිලි, නිවාස ඇතුළු යටිතල පහසුකම් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

‘වනවාටු ජනරජයේ වැසියන්ට මේ අවස්ථාවේ මානවීය ආධාර අවශ්‍යයි. මගේ මේ ඉල්ලීමට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳ මම සතුටු වෙනවා’ යනුවෙන් ජපානයේ සමුළුවකට සහභාගී වී සිටින ජනපති බැල්ඩ්වින් කියා සිටියේය.

කුණාටුවට මැදි වී පුද්ගලයන් විසි හතර දෙනක් මරුමුවට පත් වූහ.

අවතැන් වූ දස දහස් සංඛ්‍යාත ජනතාව හිසට වහලක් නොමැතිව පීඩාවට පත් වී සිටින අතර ඔවුන්ට පානීය ජලය සහ ආහාර අවශ්‍ය කර තිබේ.

නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු හමුදාවට අයත් ගුවන් යානා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරත වී සිටින අතර සහනාධාර ලබා දීම සඳහා මේ වන විට චීනය ඉදිරිපත් වී සිටියි.