ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගෘහ සේවිකාවට සෞදි රියාල් 68000 වැටුප්

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වැටුප් වශයෙන් ලැබිය යුතු සෞදි රියාල් 68000 ක මුදල ගෙවන ලෙසට සෞදි අරාබි අධිකරණයක් ඇගේ හාම්පුතාට නියම කරයි.

සෞදි අරාබියේ හයිල් අධිකරණය, ඇයට ආපසු ශ්‍රී ලංකාවට යාම සඳහා ගුවන් ගමන් පත ලබා දෙන ලෙසටත් ඇගේ හාම් පුතා වන මුබාරක් අල් ඛටානි (Mubarak al Qahatani) වෙත නියෝග කොට තිබේ.

ආසියා උම්මා නමැති එම ගෘහ සේවිකාවට වසර 13 ක් පුරා ඇයට හිමි වැටුප් ගෙවා නැති බවටත් ඇයට ඇගේ පවුලේ සාමාජිකයන් සමඟ කිසිදු ආකාරයකින් සම්බන්ධ වීමට ඉඩ නොදී සිර කරගෙන සිටින බවටත් පැමිණිලි ලැබී තිබුණු බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය පැවසුවේ.

නීතිමය පියවර

ඇය හයිල් ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක් අනුව සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති සේවය එහි ගොස් ආසියා උම්මා සොයා ගෙන තානාපති කාර්යාලයට ගෙන ගොස් අවශ්‍ය නීතිමය පියවර ගත් බවයි ඔහු සඳහන් කළේ.

සෞදි අරාබියේ හයිල් අධිකරණය දී ඇති තීන්දුවට එරෙහිව හාම් පුතා වන මුබාරක් අල් ඛාටානි (Mubarak al Qahatani) අභියාචනයක් ඉදිරිපත් කොට ඇති අතර ඇගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිගටම ඉදිරිපත් වන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය පැවසුවේ.

මේ අතර සවුදි අරාබියේ දී, යේමන් ජාතිකයකු මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ගෙල සිඳ මරා දැමීමට දී ඇති අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සවුදි බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.