ලී ක්වාන් යූ වෙනුවෙන් ලෝක නායකයන්ගෙන් උපහාර

Image copyright EPA

සිංගපුර් හිටපු අගමැති අභාවප්‍රාප්ත ලී ක්වාන් යූ වෙනුවෙන් ලෝක නායකයන්ගේ උපහාරය පළ වෙමින් පවතී.

අනූ එක් වැනි වියේ පසු වූ විශ්‍රාමික සිංගපුර් නායකයා පසුගිය පෙබරවාරි මාසයේ පටන් රෝගාතුරව රෝහල්ගත කරනු ලැබ සිටියදී අද (23) සඳුදා උදෑසන දිවියෙන් සමුගත් බවයි නිවේදනය කෙරුණේ.

දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් වන විට කුඩා වරාය නගරයක මට්ටමේ තිබුණ සිංගපුර් දේශය ලෝකයේ පොහොසත්ම රටවල් අතර එකක් බවට පරිවර්තනය කිරීමට ලී ක්වාන් යූ සමත් විය.

ආසියාවේ සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ආදර්ශයක් සැපයෙන බවයි ඔහු එම වකවානුවේ සඳහන් කළේ.

එහෙත් ශ්‍රී ලංකාව ද ඇතුළුව ආසියානු කලාපයේ රටවල් රැසක් අභිබවා යමින් සිය දේශය ලෝකයේ පොහොසත්ම රටක් බට පත් කිරීමට ඔහු හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිපත්තිය හේතු විය.

එහෙත් ප්‍රතිවිරුද්ධ දේශපාලන මත සහ පක්ෂ වලට ඉඩ නොදීම සම්බන්ධයෙන් ලී ක්වාන් යූ දෝෂ දර්ශනයට ලක් විය.

දැඩි පාලනයක්

වත්මන් සිංගපුර් අගමැති පදවිය දරන ලී ක්වාන් යූ ගේ පුත් ලී හ්සීන් ලූන් සිය පියාගේ මරණයෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් ‘ සියරට සඳහා එවැන්නකු කිසිදාක නොලැබෙනු ඇතැයි’ කියා සිටියේය.

ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශයක් කරමින්, ලී ක්වාන් යූ විග්‍රහ කළේ ‘ඉතිහාසයේ සැබෑ යෝධයකු’ හැටියටයි.

ලී ක්වාන් යූ ‘අසහාය බලයක් සහිත ආසියානු නායකයකු’ හැටියටයි චීන විදේශ අමාත්‍යාංශය විසින් විග්‍රහ කරනු ලබන්නේ.

අභාවප්‍රාප්ත සිය නායකයාගේ අවමඟුල් උත්සවය පැවැත්වෙන ලබන ඉරිදා තෙක් සිංගපුර් පාලනය ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.