'ජර්මන්වින්ග්ස්' ගුවන් අනතුර සිතාමතා කළ දෙයක්

Image copyright Reuters
Image caption යානයේ තොරතුරු පටිගත කෙරෙන යන්ත්‍රය

ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටි අතර අඟහරුවාදා අනතුරට ලක් වූ ‘ජර්මන්වින්ග්ස්’ගුවන් යානය එහි සහායක නියමුවා විසින් සිතාමතාම යානය කඳුවැටියට යොමු කර ඇති බව ප්‍රංශ නීති නිලධාරීහු පවසති.

අනතුර සිදු වෙන අවස්ථාවේ අන්ද්‍රේයාස් ලුබිට්ස් (Andreas Lubitz) නම් සහායක නියමුවා පමණක් නියමු කුටිය තුළ සිටි බවයි ප්‍රංශ නීති නිලධාරීන් පවසන්නේ.

ඒ වන විට නියමු කුටියෙන් පිටත සිටි ප්‍රධාන නියමුවා තමාට යළි නියමු කුටියට ඇතුල් වීම සඳහා එහි දොරටුව විවෘත කරන මෙන් දැඩිව ඉල්ලා සිටියත් සහායක නියමුවා ඊට ප්‍රතිචාරයක් පළ කර නොමැති බවයි පැවසෙන්නේ.

Image copyright French Interior Ministry
Image caption විනාශයේ සුන්බුන් ඇල්ප්ස් කඳුවැටි අතර

නියමුවා යළි සිය කුටියට වහාම ඇතුළු වීම සඳහා ඉතා ඕනෑකමකින් දොරට තට්ටු කරමින් උත්සාහ කර ඇති බව නිලධාරියකු ප්‍රකාශ කළ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත් වාර්තා කරයි.

ගුවන් පාලක මැදිරියෙන් කෙරුණ ඉල්ලීම් ද සහායක නියමුවා විසින් සැලකිල්ලට ගනු ලැබ නැත.

මගී විලාපය

යානය අනතුරට ලක් වූ අන්තිම තත්පර කීපයේ ගුවන් මගීන් නගන විලාප හඬ යානයේ තොරතුරු පටිගත කෙරෙන උපකරණවල සටහන් වී ඇත.

එහෙත් මගීන් එකසිය පනහක ද ජීවිත විනාශ කරමින් ගුවන් යානය අනතුරට ලක් කිරීමට සහායක නියමු අන්ද්‍රේයාස් ලුබිට්ස් (Andreas Lubitz) යොමු වුනේ කුමක් නිසාද යන්න තවම අපැහැදිලි බවයි ප්‍රංශයේ ප්‍රධාන නීති නිලධාරියා පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර