වන්දනාකරුවෝ පයට පෑගී මරු දකිති

Image copyright REX Features

බංග්ලාදේශයේ ආගමික උත්සවයක් සඳහා දස දහස් සංඛ්‍යාත ජනකායක් රැස් වූ ස්ථානයක තෙරපීමට සහ පෑගීමට ලක් වී දස දෙනෙකු පමණ මරණයට පත් වී තිබේ.

මෙම අනතුරින් තුවාල ලබා සිටින පිරිස සියයකට අධික බවයි වාර්තා වන්නේ.

ඔස්ටමි ස්නාන් නම් වූ හින්දු ආගමික උත්සවය වෙනුවෙන් බ්‍රහ්මපුත්‍ර ගංගාවේ ස්නානය කිරීම සඳහා මෙම පිරිස පටු මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී තෙරපීමට ලක් වී තිබේ.

මරණයට පත් වූ අයගෙන් හත් දෙනෙකුම කාන්තාවෝ වෙති.

Image copyright Getty

මෙම ආගමික ස්නානය සඳහා බංග්ලාදේශ ජාතිකයන් මෙන්ම අවට රටවලින්ද දශ ලක්‍ෂයකට ආසන්න වන්දනා කරුවන් පිරිසක් වාර්ෂිකව මෙම ගං ඉවුරට පැමිණෙති.

මිලියන 156 ක් වූ බංග්ලාදේශ ජනගහනයෙන් සියයට අටක් පමණ හින්දු භක්තිකයන් බව ඇස්තමේන්තු කර ඇත.