ICC සභාපති ඉල්ලා අස්වෙයි

Image copyright AFP

තම සගයන් නීත්‍යානුකුල නොවන අකාරයෙන් කටයුතු කරන බවට චෝදනා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මුස්තාෆා කමල් ඉල්ලා අස්වී තිබේ.

බංග්ලාදේශ ජාතිකයෙකු වන කමල් පැවසුවේ ඉරිදා මෙල්බර්න් නුවර පැවති ක්‍රිකට් ලෝක කුසලාන ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී කුසලානය ප්‍රදානය කිරීමට තමන්ට ඇති අයිතිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සොරා ගනු ලැබූ බවයි.

බංගලාදේශයේ ධකා අගනුවර දී ඔහු මේ බව පැවසුවේ සිය ඉල්ලා අස්වීම පිළිබඳව මාධ්‍යකරුවන්ට කරුණු පැහැදිලි කරමින්.

“මේ මොහොතේ දී මම ඉල්ලා අස් වෙනව. මම තවදුරටත් ICC සභාපතිවරයා නොවෙයි. මගේ ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව ව්‍යවස්ථා විරෝධීව සහ නීතියට පටහැණිව ක්‍රියා කරන අයත් සමග වැඩ කරන්න අකමැති වීම” යනුවෙන් ඔහු පැවසීය.

Image copyright AP

බංග්ලාදේශ රජයේ ඇමතිවරයෙක් වන කමල් ලෝක කුසලාන තරඟාවලිය අතරතුර දී මීට ප්‍රථම තමන් ඉල්ලා අස්වන බවට අනතුරු ඇඟවූයේ පුර්ව අර්ධ අවසාන තරඟයක දී තරඟ විනිසුරුවරුන් ඉන්දියාවට පක්ෂග්‍රාහී ලෙස බංග්ලාදේශ කණ්ඩායමේ පරාජයට කටයුතු කළ බවට චෝදනා කරමින්.

ඒ අවස්ථාවේ දී ඔහු පැවසුවේ තරඟයේ ජය පරාජය කලින් තීරණය කර ගත් පරිදි සිදුවූයේ යැයි පෙනෙන බවයි.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශයක් කරමින් මුස්තාෆා කමල් පෞද්ගලික හේතු සඳහන් කරමින් සිය ඉල්ලා අස්වීම බාර දී ඇති බව සඳහන් කළ කළ අතර ඔහු ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බවයි කියා සිටියේ.

තව දුරටත් ඉදිරිපත් කළ හැකි චෝදනා කිසිවක් නොමැති බව එම ලිපියේ දැක්වෙන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර