කෙන්යා සරසවි නේවාසිකාගාරයකට ප්‍රහාරයක්

Image copyright Reuters
Image caption නේවාසිකාගාරය වට ලා සිටින ආරක්ෂක හමුදා

ඊශාන දිග කෙන්යාවේ සරසවි නේවාසිකාගාරයකට මුහුණු ආවරණය කර ගත් තුවක්කු කරුවන් කණ්ඩායමක් කඩා වැදීමේ සිද්ධියකින් අනතුරුව ආරක්ෂක හමුදා එම නේවාසිකාගාරය වට ලා ඇති බව වාර්තා වෙයි.

එම තුවක්කුකරුවන් ‘අල් ෂබාබ්’ ජිහාඩ් කැරලිකරුවන් බවයි පැවසෙන්නේ.

‘ගරිස්සා’(Garissa) නගරයේ සරසවි නේවාසිකාගාරයට කඩා වැදුන තුවක්කු කරුවන් කණ්ඩායම ප්‍රාණ ඇපයට ගෙන ඇති සංඛ්‍යාව කොපමණදැයි කිව නොහැකි බව කෙන්යා පොලිසිය පවසයි.

අඩු තරමින් දාහතර දෙනකුවත් මරා දමා ඇති අතර තවත් පනහකට පමණ තුවාල සිදුව ඇති බවත් කෙන්යාවෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

මේ අතර ජාත්‍යන්තර රතු කුරුසය පවසන්නේ, සිසුන් පනහක් පමණ ප්‍රහාරකයන්ගෙන් බේරී පළා යාමට සමත් වී ඇති බවයි.

Image copyright AP
Image caption තුවක්කු කරුවන්ගෙන් පළා ආ සිසුන්

තුවක්කුකරුවන් සරසවි නේවාසිකාගාරයේ වහල මත සිට වෙඩි තබන හෙයින් එම ස්ථානයට ඇතුල් වීමේ දුෂ්කරතාවයකට ආරක්ෂක හමුදා මුහුණ දී සිටිති.

කෙන්යා හමුදා 2011 වසරේ සෝමාලියාව ආක්‍රමණය කළ අතර, කෙන්යාව සමඟ සටන් වැදී සිටින අල් ෂබාබ් ජිහාඩ් කැරලිකරුවන් බීබීසියට කියා සිටියේ තමන් සරසවි නේවාසිකාගාරයට පහර දුන් බවයි.

නේවාසිකාගාරය තුළ සිට ප්‍රකාශයක් කළ ‘අල් ෂබාබ්’ ජිහාඩ් කැරලිකරුවෝ සිය අත්අඩංගුවට පත් අය අතර සිටි මුස්ලිම් සිසුන් වෙන් කර ඔවුන්ට පිටව යාමට ඉඩ දුන් බව කියා සිටියහ.