ඇමරිකා - කියුබා විරසකය නිම වන ලකුණු

Image copyright EPA
Image caption දෙරට අතර මෙසේ මිතු දමක් ඇරඹෙන්නේ වසර පනහකට වැඩි කාලයකට පසුවයි

දශක ගණනාවක් පුරා සතුරන්ව සිටි ඇමරිකාව සහ කියුබාව අතර නව මිතුරු සබඳතාවක් ඇරඹීමේ පැහැදිලි ලකුණක් සනිටුහන් කරමින් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ සුහදශීලී ලෙස එකිනෙකාට අතට අත දී කතා කළ බව වාර්තා වේ.

දෙරටේ ජනාධිපතිවරු පැනමා හි දී මෙසේ හමුවුයේ ඇමරිකානු සමුළුව ආරම්භ කරමින්.

වසර පනහකට වැඩි කාලයක් දෙරට අතර පැවති ඓතිහාසික විරසකය නිමා කරමින් අද සෙනසුරාදා පවත්වන්නට නියමිත සාකච්ඡාවේ දී කියුබාව තුළ දේශපාලන ප්‍රතිසංවිධානයක් පිලිබඳ කතා කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ඔබාමාට ඇති බවයි පැවසෙන්නේ.

ජනාධිපති කැස්ත්‍රෝ ට අවශ්‍ය වන්නේ ඇමරිකාව සමග ඇති වෙළඳ සීමාවන් ඉවත්කර ගැනීමත් ත්‍රස්තවාදය පෝෂණය කරන රටවල නම් සඳහන් ඇමරිකාවේ ලැයිස්තුවෙන් කියුබාවේ නම ඉවත්කර ගැනීමත් බවයි වාර්තාවල සඳහන් වන්නේ.

මෙම සමුළුවට කියුබාවේ සහභාගී වීම සතුටට කාරණයක් බවයි ජනාධිපති ඔබාමා පැවසුවේ.

“මට ඉතාමත් ආඩම්බරයි මේ ඇමරිකා සමුළුවේ දී නිල වශයෙන් පළමු වතාවට එකතුවුණු සිවිල් සමාජ නායකයන් සමග එක්වන්නට ලැබීම ගැන. ඒ වගේම මට හරිම සතුටුයි පළමු වතාවට කියුබාව මේ සමුළුවට සහභාගීවීම පිළිබඳව. ඇමරිකාව කියුබාව සමග සබඳතා වල නව පිටුවක් අරඹන නිසා අපි බලාපොරොත්තු වෙනවා කියුබානු ජනතාවගේ ජීවිත වල වර්ධනයක් ඇතිවෙන පරිසරයක් ඇතිවෙයි කියල. ඒක අපි කරන බලපෑමක් නිසා නොවෙයි. කියුබානු ජනතාවගේ දක්ෂතා, අවංකභාවය, බලාපොරොත්තු සමග සංවාදයක් ඇතිවන නිසා” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර