රාහුල් ගාන්ධිගේ නිහඬ දේශපාලනය අවසන්

Image copyright AFP GETTY

මාස දෙකකට ආසන්න කාලයක් නිහඬව සිටි ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි යළි දේශපාලන කරළියට පිවිසීමට සූදානමින් සිටින බව ඉන්දියානු වාර්තා මගින් පැවසෙයි.

රාහුල්, ලබන 19 වෙනිදා දිල්ලි නගරයේ පැවැත්වෙන ගොවි සමුළුවක් අමතා කතා කරනු ඇතැයි ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසීය.

පසුගිය මැතිවරණ පරාජයෙන් අනතුරුව පෙබරවාරි මාසයේ පටන් මාස දෙකකට ආසන්න කාලයක් ඔහු ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ පෙනී නොසිටීම සමාජ මාධ්‍යයට මාතෘකාවක් වූ අතර පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන අතරවාරයේ නිවාඩු ගත කරන බවට පාලක භාරතීය ජනතා පක්ෂයෙන් චෝදනා එල්ල විය.

2014 මැයි මාසයේ පැවැත්වුන මහ මැතිවරණයේ දී කොංග්‍රස් පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරයට නායකත්වය දෙන ලද්දේ රාහුල් ගාන්ධි විසිනි.

එම මැතිවරණයේ දී එතෙක් බලයේ සිටි කොංග්‍රස් පක්ෂය ඉතා බරපතළ පරාජයකට ලක් විය.

මේ අතර පසුගිය පෙබරවාරි මාසයේ පටන් රාහුල් ගාන්ධි දේශපාලන කරළියේ දක්නට නොවූ අතර කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් කියා සිටියේ, පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ගය නිශ්චය කිරීම සඳහා ඔහුට කාලය අවශ්‍ය කළ බවයි.

දිල්ලි පරාජය

පසුගියදා පැවැත්වුන දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂයට එකම ආසනයක් වත් දිනාගත නොහැකි වූ අතර පක්ෂ නිලධාරීන් පවසන්නේ, රාහුල් ගාන්ධිට සිය දේශපාලන භූමිකාව සහ පක්ෂයේ අනාගතය තක්සේරු කිරීමට අවශ්‍ය කරන බවයි.

Image copyright AP
Image caption රාහුල් ගාන්ධි කොන්ග්‍රස් පක්ෂ සාමාජිකයන් සමඟ

හතළිස් හතර වැනි වියේ පසු වෙන රාහුල් ගාන්ධි ඉන්දීය නේරු පරපුරේ වත්මන් දේශපාලන නායකත්වයයි.

දැනට ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකත්වය දරන්නේ ඔහුගේ මව වන සෝනියා ගාන්ධි වන අතර ඇතැම් කොංග්‍රස් පක්ෂ නායකයන් පවසන්නේ එම පදවිය නිල මට්ටමින් රාහුල් වෙත පැවරීමක් සිදු විය හැකි බවයි.

ප්‍රියංකා ගාන්ධි

මේ අතර රාහුල් ගාන්ධි පක්ෂ ක්‍රියාධරයන්ගෙන් ඈත්ව සිටිය යුතු යයි පවසන තවත් කණ්ඩායම් දේශපාලනය තුළ වඩාත් ඉදිරි කාර්යභාරයක නිරත වෙන මෙන් ඔහුගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධිගෙන් ඉල්ලා සිටිති.

එහෙත් දේශපාලනයට තමා මැදිහත් නොවන බවයි ප්‍රියංකා ගාන්ධි පෙන්නුම් කර තිබෙන්නේ.