දකුණු අප්‍රිකාවේ වෙසෙන විදේශිකයන්ට ප්‍රහාර

Image copyright AFP

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ප්‍රදේශයේ වෙසෙන සංක්‍රමණික ජනතාව කැති මන්නා වලින් සන්නද්ධව සිටින අතර ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය විසින් රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කරන ලදී.

සංක්‍රමණිකයන් කියා සිටින්නේ දකුණු අප්‍රිකාවේ වෙසෙන විදේශිකයන්ට එල්ල වෙමින් පවතින ප්‍රහාර හමුවේ සිය ආත්මාරක්‍ෂාව සඳහා සන්නද්ධව සිටින බවයි.

ආරක්ෂක විධි විධාන තර කර තිබියදී පවා ජොහැන්නස්බර්ග් ප්‍රදේශයේ වෙසෙන විදේශිකයන්ගේ ව්‍යාපාරික ස්ථාන වලට ඊයේ (16) රාත්‍රියේ ප්‍රහාරයන් එල්ල වූ අතර සැක පිට දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Image copyright Reuters

දින කිහිපයක් තිස්සේ දකුණු අප්‍රිකාවේ වෙසෙන විදේශිකයන්ට එල්ල වූ ප්‍රහාරයන් නිසා අඩු තරමින් පස් දෙනෙකුවත් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදේශිකයන්ට එරෙහි ප්‍රහාරයන්ට විරෝධය දක්වමින් දහස් ගණනක් වූ ජනතාව ඩර්බන් නුවර පෙළපාලි පැවැත්වූහ.

රැකියා විරහිත බොහෝ දකුණු අප්‍රිකානුවන් චෝදනා කරන්නේ විදේශිකයන් සිය රැකියා අවස්ථා ලබා ගෙන ඇති බවයි.

දකුණු අප්‍රිකාවේ රැකියා වියුක්ති ප්‍රතිශතය සියයට 24 කි.

Image copyright Reuters
Image copyright AFP