දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලාංකිකයන්ට හිරිහැර නැහැ

Image copyright AFP

දකුණු අප්‍රිකාවේ වාසය කරන විදේශිකයන් එරටින් පලවා හැරීම ඉලක්ක කර ගත් ප්‍රචණ්ඩ ප්‍රහාර රැල්ලක් ආරම්භ වී ඇති බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති.

ඩර්බන් නගරයේ වෙසෙන ව්‍යාපාරික ශ්‍රී ලාංකිකයෙක් බීබීසී සංදේශය අමතමින් කියා සිටියේ, එම ප්‍රහාර රැල්ලට අසල්වැසි අප්‍රිකානු රටවලින් පැමිණ සිටින විදේශීය ව්‍යාපාරිකයන් ගොදුරු කෙරෙන බවයි.

දකුණු අප්‍රිකාව තුළ කුඩා ව්‍යාපාර පවත්වා ගෙන යන විදේශිකයන්ට රටින් පිටව යන මෙන් බල කෙරෙන බවයි එම ශ්‍රී ලාංකිකයා පවසන්නේ.

ආසියාවෙන් සහ යුරෝපා රටවලින් දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වී සිටින ජනතාව නොව අවට වෙනත් රටවලින් පැමිණි අප්‍රිකානුවන් විදේශිකයන් නුරුස්නා කණ්ඩායම්වල ගොදුරු බවට පත් වන බවයි ඩර්බන්වාසී ඉහත කී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා පෙන්වා දෙන්නේ.

රැකියා භීතිය

සංක්‍රමණික විදේශිකයන් නිසා තමන්ට රැකියා නැති වෙන බවට ඇති සැකය එවැනි ප්‍රහාර වලට හේතු වී ඇති බවයි එම ශ්‍රී ලාංකිකයා වැඩි දුරටත් කියා සිටියේ.

Image copyright AFP

ප්‍රචණ්ඩ ප්‍රහාර වැලක්වීමට පොලිසිය පියවර ගත්තත් ඇතැම් අවස්ථාවන්හි ඔවුන්ටත් ඒවා පාලනය කර ගත නොහැකි වෙන බවත් ඔහු පවසයි.

එවැනි ප්‍රහාරවලට ගොදුරු වෙන්නන් රඳවා තැබීමට කඳවුරු පිහිටුවීමට දකුණු අප්‍රිකානු ආණ්ඩුව පියවර ගනිමින් ඇති බවත් එම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා සඳහන් කරයි.

දකුණු අප්‍රිකාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් කිසිදු ප්‍රහාරයකට ලක්ව නැති බව කියා සිටි ඔහු මේ ප්‍රහාර වල ගොදුරු බවට පත්වන්නේ වෙනත් අප්‍රිකානු රටවලින් සංක්‍රමණය වූවන් බවත් සඳහන් කළේය.

එහෙත් පොදුවේ දකුණු අප්‍රිකානු ජනතාව එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නිරත නොවන අතර එය කුඩා කණ්ඩායම් විසින් සිදු කරන්නක් වන බවත් ඔහු පවසයි.

වැඩි විස්තර සඳහා සවන්දෙන්න සිකුරාදා බීබීසී සංදේශයට: http://www.bbc.co.uk/sinhala/multimedia/2012/04/000001_friday_prog