සංක්‍රමණික මරණ: යුරෝපා සංගමයේ දැඩි අවධානය

Image copyright EPA
Image caption පෙරළුණු යාත්‍රාවේ සිටි සංක්‍රමණිකයන් විසි හතර දෙනකුගේ මළ සිරුරු රැගත් සහන යාත්‍රාවක් මෝල්ටා රාජ්‍යයට ළඟා විය

උත්සන්න වෙමින් පවතින මධ්‍යධරණි කලාපයේ සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග ගැනීම සඳහා යුරෝපා රටවලට සදාචාරාත්මක වගකීමක් ඇති බව යුරෝපා සංගමයේ විදේශ කටයුතු ප්‍රධානී ෆෙඩෙරිකා මොග්හරිනි පවසයි.

මධ්‍යධරණි මුහුදේ ගමන් ගත් යාත්‍රාවක් පෙරලීමත් සමග එහි සිටි සංක්‍රමණිකයන් සිය ගණනක් මුහුදේ ගිලී මරුමුවට පත් වී ඇති බවට බිය පළ වෙමින් තිබේ.

අනතුරට පත් යාත්‍රාව තුළ සංක්‍රමණිකයන් හත්සීයක් පමණ සිටි බවට විශ්වාස කෙරෙන අතර මේ දක්වා දිවි බේරා ගනු ලැබූ පිරිස විසි අටක්.

එම ඛේදවාචකයත් සමග අප්‍රිකාවේ සිට මධ්‍යධරණි කලාපය ඔස්සේ පැමිණෙමින් සිටියදී මිය යන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ විදේශ සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරු රැස් වීමට නියමිතයි.

සංක්‍රමණිකයන් යුරෝපය වෙත යාත්‍රා කිරීම අධෛර්යමත් කිරීමේ වෑයමක් වශයෙන් සංක්‍රමණිකයන් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ නාවික මෙහෙයුම් සීමා කිරීමට යුරෝපා සංගමය පසුගිය වසරේදී කටයුතු කළේය.

එම පියවර යුරෝපා සංගමයේ ඇතැම් සාමාජික රටවල විවේචනයට ලක් විය.

සංක්‍රමණික බෝට්ටු බොහොමයක් ලිබියාවේ සිට පැමිණෙන අතර එහි පවතින වර්තමාන තත්වය කෙරෙහි අවධානය යොමු කරන මෙන් මෝල්ටා රාජ්‍ය යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.