යුරෝපා සංගමයේ හදිසි රැස්වීමක්

Image copyright AP

සිය ජීවිත අනතුරට පත් කරමින් මධ්‍යධරණි මුහුද තරණය කර යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් ගණන අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා යුරෝපා සංගමයේ නායකයින් හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

පසුගිය ඉරිදා සංක්‍රමණිකයන් රැගත් ලිබියානු බෝට්ටුවක් මධ්‍යධරණි මුහුදේ අනතුරට පත් වීමෙන් පුද්ගලයන් අටසිය දෙනෙකු දියේ ගිලී මරණයට පත් විය.

ඒ අනුව 2015 මේ දක්වා මිය ගිය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 1750 දක්වා ඉහල ගොස් තිබේ.

මේ වසරේ නීති විරෝධී ලෙස ඉතාලියට ඇතුළු වූ ඇස්තමේන්තු ගත සංක්‍රමණිකයන් ගණන විසි එක් දහස ඉක්මවන බවයි වාර්තා වන්නේ.

ඉතාලි අගමැති මතායෝ රෙන්සි නීති විරෝධී ලෙස පුද්ගලයන් ප්‍රවාහනය කරන ජාවාරම් කරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට නියෝග නිකුත් කර තිබේ.

අගමැති වරයා මෙම ජාවාරම් කරුවන් හඳුන්වා ඇත්තේ විසි එක් වන සියවසේ වහල් වෙළෙන්දන් වශයෙනි.

බෝට්ටු විනාශ කිරීමට මෙහෙයුම්

Image copyright Getty

බ්‍රහස්පතින්දා බ්‍රසෙල්ස්හි පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ සැලැස්මට අනුව යුරෝපා නායකයින් තීරණය කර තිබෙන්නේ ජාවාරම් කරුවන් විසින් සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට යොදා ගැනීමට පෙර නීති විරෝධී බෝට්ටු සොයා විනාශ කිරීමට මෙහෙයුම් දියත් කිරීමටයි.

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ සභාපති ෆෙදරිකා මොගරිනි කියා සිටියේ මෙම මෙහෙයුම් දියත් කිරීමට අවශ්‍ය නීති රාමුව ජාත්‍යන්තර නීතියට අනුකූල වන ආකාරයෙන් සැකසීමට කඩිනමින් පියවර ගත යුතු බවයි.

ලිබියාවේ ශක්තිමත් සහ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතීන්ට සහය දීම සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ තවත් සැලසුමකි.

ඉතාලිය පවසන්නේ 90% ක් ලිබියාවේ සිට පැමිණෙන සංක්‍රමණික බෝට්ටු ඉතාලි වෙරළේ අත්හැර දැමෙන බවයි.

Image copyright AP

මේ වන විට යුරෝපයට ඇතුළු වී සිටින සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ නායකයින් බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

ඉදිරිපත්ව ඇති එක් යෝජනාවක් වන්නේ සංක්‍රමණිකයන් යුරෝපීය රටවල් අතර සමානව බෙදා පදිංචි කර වීම වුවත් මෙය නායකයන් අතර මත භේද කාරී තත්වයක් ඇති කිරීමට සමත් වෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර