දිල්ලි මහ ඇමති ඉදිරිපිට සිය දිවි නසා ගත් ගොවියෙක්

Image copyright Reuters
Image caption ගොවීහු නව ඉඩම් ප්‍රතිසංස්කරණයට විරෝධය පළ කරති.

දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මහජන රැළියක් අමතමින් සිටින අතරවාරයේ එම රැලිය පෙනෙන තෙක් මානයක ගසකට නැග ගත් ගොවියෙක් ගෙල වැල දා ගනිමින් සියදිවි හානිකර ගැනීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

අනතුරුව දිගටම සිය කතාව කර ගෙන ගිය මහ ඇමතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බවත් දිල්ලි නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

ගොවියා විසින් ගනු ලැබුණ ක්‍රියා මාර්ගය අනුමත කළ නොහැකි වන බව සඳහන් කළ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්, තමා සිටින තැනට පෙනෙන ගස මත දක්නට ලැබෙන දර්ශනය බලා සිටිය නොහැකි බවයි කියා සිටියේ.

ගොවියාගේ සිය දිවි හානිකර ගැනීමට හේතුව දේශපාලන අරෝවකැයි පැවසෙන අතර බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් චෝදනා කරන්නේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ටයි.

එසේම එම ක්‍රියාවෙන් ගොවියා නතර කරනු ලැබීමට අසමත් වීම සම්බන්ධයෙන් පොලිසියත් විවේචනයට ලක් වෙයි.

මෙම අර්බුදය මතු වුනේ දිල්ලි ආණ්ඩුව ඉඩම් ප්‍රතිසංස්කරණයක් පෙරට ගෙන යාමට ප්‍රයත්න දරමින් තිබියදී.

යෝජිත ඉඩම් ප්‍රතිසංස්කරණය නිසා දැනටමත් නරක තත්වයක පවතින සිය ජීවිකා වෘත්තීන් තවත් තර්ජනයකට ගොදුරු වෙන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.