ජනපති තෙවැනි ධුර කාලයට එරෙහිව ප්‍රචණ්ඩ උද්ඝෝෂණ

Image copyright Reuters

බුරුන්ඩි රාජ්‍යයේ ජනපති පියරේ න්කුරුන්සිසා තෙවන වරටත් සිය ධුරය සඳහා තරග කරන බව නිවේදනය කිරීමත් සමග ඇති වූ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හේතුවෙන් අවම වශයෙන් එක් අයකුවත් මරුමුවට පත් වෙයි.

ගැටුම් හට ගැනුණේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සැලසුම් කරන බවට බුරුන්ඩි රජයට චෝදනා කරමින් එරට අගනුවර බුජුම්බුරාහි උද්ඝෝෂණයේ යෙදුණු විරෝධතාකරුවන් හා පොලිසිය අතරයි.

උද්ඝෝෂණයට සහභාගී වූ විරෝධතාකරුවන් ටයර් පුළුස්සමින් ගල් මුල් ප්‍රහාර එල්ල කොට ඇති අතර බුරුන්ඩි පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කළ වෙඩි තැබීමේදී පොලිසිය ජීව උණ්ඩ භාවිතා කොට තිබේ.