නේපාල භූමි කම්පාවේ පශ්චාත් බලපෑම්

Image copyright BBC World Service

නේපාලයේ ඇතිවූ භු චලනයෙන් සහ පසු කම්පන වලින් විශාල ප්‍රමාණයේ නාය යාම් ඇතිවීමේ තර්ජන පවතින බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.

එවැනි නාය යාම් මගින් ගංගා අවහිර වුවහොත් ඇතිවිය හැකි ආගන්තුක ජල පහර මගින් ගංගා ආශ්‍රයේ යටිතල පහසුකම් සහ ඉදිකිරීම් විනාශ වීමේ අන්තරායක් ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ.

'ගංගා' නම් නදියේ ජලයෙන් 70%ක් පමණ සැපයෙන ගංගා සියයක් පමණ ගලා බසින්නේ ඉන්දු-නේපාල් දේශ සීමාවේ කඳුකරය ඔස්සේයි.

මෙවර නේපාලය මුහුණ දුන් අවසන් භූමි කම්පාවේ මධ්‍ය ලක්ෂය පිහිටියේ නේපාලයේ බටහිර කඳු වැටියේ හුදෙකලා ප්‍රදේශයක වුවත් පසු කම්පන හට ගත්තේ මධ්‍ය ලක්ෂයට ඉතා දුරින් පිහිටි එවරස්ට් කඳු වැටියේ නැගෙනහිර දෙසිනි.

විද්‍යාඥයින් තව දුරටත් කියා සිටින්නේ භූ චලනය හේතුවෙන් එවරස්ට්හි සිදු වූ හිම කඳු කඩා වැටීම් මගින් එම කඳුවැටිය හරහා වැටී ඇති හිම මිදුණු ගංගා ක්‍රියාකාරී වීමේ තර්ජනයක් ද පවතින බවයි.

හිම ගංගා දිය වීමක්

කාර්ඩිෆ් විශ්ව විද්‍යාලයේ භූමිය සහ සාගර විද්‍යාව සම්බන්ධ මහාචාර්ය රොබට් පාකර් කියා සිටියේ, භූ චලනයේ මධ්‍ය ලක්ෂය පිහිටි ප්‍රදේශයේ සිදු වී ඇති විනාශය දුටු විට එම භූ චලනය සමඟ ඇති වූ කම්පනය නාය යාම් දහස් ගණනක් ඇති වීමට හේතු විය හැකි බව පෙනී යන බවයි.

එම නාය යාම් ගල් සහිත කඳු කඩා වැටීම දක්වා බලවත් වීමට ඉඩ ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

නේපාල බලධාරීන් පවසන්නේ පසුගිය සෙනසුරාදා ඇති වූ භූමි කම්පාවේ මධ්‍ය ලක්ෂය පිහිටි ප්‍රදේශය වන ‘ගොර්ඛා’ දිස්ත්‍රික්කයෙන් (Gorkha district) නාය යාම් වාර්තා වුවත් තවමත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ලැබී නොමැති බවයි.

Image copyright BBC World Service

නාය යාම් වලින් කත්මන්ඩු අගනුවරට බටහිර දෙසින් පිහිටා තිබෙන ‘ලැන්ග්ටන්’ ප්‍රදේශයේ (Langtang region) ගම්මාන මුළුමනින්ම යට වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් එවන් කඳුකර ගම්මාන පිහිටා තිබෙන්නේ කඳු දෙකක් අතර ඇති පහත් බිම් වලයි.

දැනට ලැබී ඇති වාර්තා වලට අනුව පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගංගා වල ස්ථාන කිහිපයක අවහිරතා හටගෙන තිබේ.

කඳු කඩා වැටීම්

විපතට පත් පෙදෙස් වල අහස වලාකුළුවලින් බර වී ඇති නිසා චන්ද්‍රිකා මගින් ගනු ලබන ඡායාරූප එතරම් පැහැදිලි නැති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

වසර පහළොවක කාලයක් මුළුල්ලේ නේපාලයේ නාය යාම් සහ ස්වභාවික විපත් සම්බන්ධයෙන් අධ්‍යනයක යෙදුනු ඊස්ට් ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩේව් පෙට්ලී කියා සිටියේ මේ වන විට සිදු වෙමින් පවතින නාය යාම් කඳුකර ප්‍රදේශයක දරුණු භුමි භූ චලනයක් ඇති වීමෙන් හටගන්නා ප්‍රථිපලයක් වන බවයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙවැනි නාය යාම් වලට බලා පෑ හැකි හේතු රාශියක් තිබුනද සමහර අවස්ථාවල දී නිවැරදි හේතුව පැහැදිලි කිරීම අපහසු කාර්යක් වන බවයි.

නාය යාම් බහුල වශයෙන් ඇති වන නේපාලය මුහුණ දුන් මෙම භුමි කම්පාවෙන් පසු එවැනි අනතුරු මගින් විශාල බලපෑමක් සිදු වන බව අපේක්ෂා කළ යුතු ඔහු පෙන්වා දෙයි.

විශේෂඥයන් පවසන්නේ ඇති වූ භුමි කම්පාවත් සමග ටිබට්- නේපාල දේශ සීමාව අසල ද නාය යාම් කීපයක් සිදු වී ඇති බවයි.

මේ අතර එවරස්ට් කඳු වැටියේ උතුරු දෙසින් වසන්ත කාලයේදී කඳු නැගීමේ යෙදීම චීන රජය විසින් තහනම් කර ඇති බව චීන ජන මාධ්‍ය වාර්තා කරයි. සංචාරකයින් පැමිණීම වැලක්වීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි නේපාල බලධාරීන් පවසන්නේ.

Image copyright AP

නමුත් විද්‍යාඥයින් පවසන්නේ පසුගිය සෙනසුරාදා ඇති වූ භුමි කම්පාවෙන් ඇති වූ පශ්චාත් ප්‍රථිපල නොසලකා සිටිය නොහැකි බවයි.

ගංගා පිටාර ගැලීම්

මහාචාර්ය පාර්කර් සිය අදහස් පැහැදිලි කරමින් කියා සිටියේ 2005 වසරේ කාශ්මීරයේ ඇති වූ භූ චලනය සහ 2008 වසරේ ‘වෙන්චුන්’ භුමි කම්පාවෙන් ලද අත් දැකීම් හා සසඳන විට සෙනසුරාදා නේපාලයේ ඇති වූ භූමි කම්පාව මගින් ඇතිවන නාය යාම් තාවකාලිකව සමහරක් ගංගා මුළුමනින්ම අඩාළ කිරීමට තරම් බලවත් වනු ඇත යන්න සිය විශ්වාසය වන බවයි.

එලෙස නිර්මාණය වන තාවකාලික ජලාශ කිසිදු ඉඟියකින් තොරව හදිසියේ පිටාර ගැලීමට ඉඩ ඇති අතර පස් කඳු කඩා වැටීමෙන් නිර්මාණය වන වේලි ඉතා අස්ථාවර බැවින් ඔනෑම මොහොතක එය කඩා වැටීමේ තර්ජනයක් පවතින බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

මෙවැනි සිදු වීමකට උදාහරණයක් ලෙස 2010 වසරේ ඇති වූ භූමි කම්පාවෙන් ‘හුන්සා’ ගංගාව(Hunza River) අවහිර කරමින් කඩා වැටුණු පස් කන්දෙන් නිර්මාණය වූ ජලාශය පෙන්වා දිය හැකිය.

විද්‍යාඥයින් පවසන්නේ සති කිහිපයකින් නේපාලයේ ආරම්භ වීමට නියමිත මෝසම් වර්ෂාව භූමි කම්පාවෙන් දරුණු ලෙස බලපෑම් ලද කඳු වැටි වල නාය යාම් ඇති කිරීමට බොහෝ දුරට බලපානු ඇති බවයි.

(පරිසර කටයුතු පිලිබඳ බීබීසී වාර්තාකරු නවීන් සිං ඛඩ්කාගේ ලිපියකි.සිංහල පරිවර්තනය පවිත්‍රා පෙරේරා )