'හෙලිකොප්ටර් එවන්න' - නේපාලයෙන් ඉල්ලීමක්

Image copyright AFP

ගලවා ගැනීමේ සහ සහන සේවා මෙහෙයුම් වෙනුවෙන් හැකි තරම් හෙලිකොප්ටර් යානා ලබා දෙන මෙන් නේපාලය විදේශ රටවල් වලින් බලවත් ඉල්ලීමක් කර තිබේ.

අප්‍රේල් 25 වැනිදා නේපාලයේ හට ගත් දරුණු භූමිකම්පාවෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව හයදහස් දෙසීයක් පමණ වන බවයි වාර්තා වන්නේ.

නේපාල රජය පවසන්නේ ව්‍යසනයෙන් බරපතළ ලෙස තුවාල ලැබූ පුද්ගලයන් රෝහල් කරා ගෙන යාම, භූමිය හරහා ලඟා විය නොහැකි පෙදෙස් වල අවතැන් වූවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සහ තවමත් සුන් බුන් අතර සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීමට හෙලිකොප්ටර් යානා අවශ්‍යව ඇති බවයි.

ගුවන් මගින් ඉක්මනින් රෝහල් සහ ආරක්‍ෂිත ස්ථාන වලට යාම සඳහා ඇතැම් පෙදෙස් වල අවතැන් වූවන් අතර ගැටුම් හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Image copyright AFP

භාර ගැනීමට කිසිවකු නැතිනම් සුන් බුන් අතරින් ගොඩ ගනු ලබන මළ සිරුරු හැකි ඉක්මනින් පුළුස්සා දමන මෙන් නේපාල රජය නිවේදනයක් නිකුත් කර තිබේ.

නේපාල මුදල් අමාත්‍ය රාම් ශරන් මහතෝ පවසන්නේ භුමි කම්පාවෙන් සිදුවූ විනාශයෙන් පසු නැවත සිය රට ගොඩ නැගීමට අඩුම වශයෙන් ඩොලර් කෝටි දෙසීයක් වත් වැය වනු ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර