මුහුද මැද සරණාගතයන් දහස් ගණනක්

Image copyright AP

මධ්‍යධරණි මුහුද හරහා අප්‍රිකාවේ සිට යුරෝපය කරා බෝට්ටු මගින් පැමිණෙන සරණාගතයන් තුන්දහස් හත්සීයකට ආසන්න පිරිසක් ගෙවී ගිය පැය විසි හතර ඇතුළත බේරා ගත් බව ඉතාලි වෙරළාරක්ෂකයෝ පවසති.

ඉතාලි සහ ප්‍රංශ නාවික යාත්‍රා යොදා ගනිමින් කරන ලද මෙහෙයුමකින් මෙම සරණාගතයන් පිරිස බේරා ගෙන තිබේ.

බේරා ගත් පිරිස ඉතාලිය කරා ගෙනැවිත් ඇති අතර තවදුරටත් මෙහෙයුම් දියත් කරමින් ඇති බවයි ඉතාලි බලධාරීන් පවසන්නේ.

මධ්‍යධරණි මුහුද තරණය කිරීමට උත්සාහ කළ සරණාගතයන් 1,750ක් පමණ මෙම වසර තුළ දී පමණක් මුහුද මැදදී අනතුරට ලක් වී මිය ගොස් තිබේ.

මෙම සංඛ්‍යාව පසුගිය වසරේ එම කාල සීමාව තුළ දී මිය ගිය ප්‍රමාණය මෙන් විසි ගුණයක සංඛ්‍යාවකි.

පවතින යහපත් කාලගුණය සහ මුහුදේ රළු ස්වභාවය අඩු වීම නිසා ජාවාරම් කරුවන් එහි වාසිය ලබා ගන්නා බවයි බලධාරීන් පවසන්නේ.