ඔත්තු බැලීමට ප්‍රංශයේ නව නීති

Image copyright SPL

ඉස්ලාමීය ත්‍රස්තවාදීන් අල්ලා ගැනීම සඳහා බුද්ධි තොරතුරු රැස් කිරීමට වැඩි ඉඩකඩක් ලබා දෙන නව නීති ප්‍රංශ පාර්ලිමේන්තුවේ අති බහුතර ඡන්ද සංඛ්‍යාවකින් සම්මත විය.

අන්තර්ජාල සේවා සැපයුම් ආයතන සතු දත්ත ලබා ගැනීම සඳහා බුද්ධි අංශවලට නව නීති හරහා ඉඩ ලැබෙනු ඇත.

මේ අනුව අන්තර් ජාලය හරහා කෙරෙන පණිවිඩ හුවමාරු සහ ඒවා සිදු වෙන ස්ථාන පිළිබඳව නිරීක්ෂණය කිරීමට බුද්ධි අංශවලට අවසර ලැබෙයි.

මෙම නව නීති හරහා ජනතාවගේ පෞද්ගලිකත්වයට ඇති නිදහස උල්ලංඝණය විය හැකි බවට විවේචකයෝ අනතුරු අඟවා සිටිති.

ප්‍රංශ බලධාරීන් මෙම පියවර ගෙන ඇත්තේ පැරිසියේ පුවත් පත් කාර්යාලයකට සහ සුපිරි වෙළඳ සැලකට ප්‍රහාරයන් එල්ල වී සිව් මසකට පමණ පසුවයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව නීතිවලට පක්ෂව ඡන්ද හාරසීය තිස් අටක් ලැබුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැට හය දෙනෙක් ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළහ.

මෙම පනත ඉහල මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී ද එය සම්මත වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.