නේපාල භූමිකම්පාව: 'ලෙඩ රෝග පැතිරීමේ දැඩි අවදානමක්'

Image copyright AFP
Image caption භූමිකම්පාවට හසු වීමෙන් නේපාලයේ නිවාස එක්ලක්ෂ තිස්දහසක් විනාශයට පත් වී තිබේ.

නේපාලයේ ඇති වූ දරුණු භූමිකම්පාවෙන් අනතුරුව ලෙඩ රෝග පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බවට ආධාර සංවිධාන අනතුරු හඟවා සිටිති.

නිසියාකාර ඉදුම් හිටීම් පහසුකම් නොමැති වීම, අපවිත්‍ර ජලය සහ සනීපාරක්ෂක පහසුකම් අවම මට්ටමේ පැවතීම හේතුවෙන් කොලරාව, පාචනය සහ ජලය ආශ්‍රයෙන් හට ගන්නා රෝග පැතිර යෑමේ අවදානමක් ඇති බවයි ආධාර සංවිධාන පවසන්නේ.

ඇතැම් ප්‍රදේශවල රැඳී සිටි පුද්ගලයන් වැසිකිළි යෑම එළිමහනේ සිදු කොට ඇති බව එක්සත් රාජධානියේ හදිසි ආපදා කමිටුව සඳහන් කළේය.

පුණ්‍යායතන දොළහකින් සමන්විත ආධාර සංවිධානයක් කියා සිටියේ පවතින තත්වයට පිළියම් යෙදීම සඳහා වහා ක්‍රියාත්මක විය යුතු බවයි.

නේපාලයේ සිදු වූ භූමිකම්පාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව මේ වන විට හත් දහස ඉක්මවා ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව දසදහසකට අධිකයි.

ලොව වටා රටවල් වලින් නේපාලයට පැමිණි හාරදහසකට අධික සහන සේවකයෝ ගලවා ගැනීමේ මෙහෙයුම්වල සහ සහන සේවා කටයුතුවල යෙදී සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර