සල්මන් ඛාන්ට පස් වසරක සිර දඬුවමක්

Image copyright AFP

වීදියේ නිදන පුද්ගලයකු මතින් බීමතින් රිය පැදවීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට පස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.

හතළිස් නව හැවිරිදි සල්මන් ඛාන්ට චෝදනා එල්ල වී තිබුණේ දෙදහස් තුන වසරේදී මුම්බායි නගරයේ පදික වේදිකාවක් මත නිදා සිටි පිරිසක් දෙසට වේගයෙන් රිය පැදවූ බවටයි.

පදික වේදිකාවේ නිදා සිටි නූර් උල්ලා ඛාන් නැමැත්තා අනතුරින් මරුමුවට පත් විය.

චෝදනා විභාග කළ අධිකරණය බොලිවුඩ් සිනමා නළු සල්මන් ඛාන් අනියම් මිනීමැරුමකට වරදකරු බව තීන්දු කළේය.

Image copyright Getty

සිය රියැදුරුවරයා අතින් අනතුර සිදු වූ බව සල්මන් ඛාන් කියා සිට ඇති නමුත් සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ අනතුර සිදු වන අවස්ථාවේ සල්මන් ඛාන් රියදුරු අසුන මත සිටි බවයි.

අනතුරෙන් පසු සුපිරි නළුවා එම ස්ථානයෙන් පලා ගිය බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.

අධිකරණය ලබා දුන් සිර දඬුවම නැවත සලකා බලන ලෙස ඉල්ලා සුපිරි නළු සල්මන් ඛාන්ට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය තිබේ.