වඳුරු පැටවාට තැබූ රාජකීය නම ජපානයේ ආන්දෝලනයට

Image copyright AFP

බ්‍රිතාන්‍යයේ චාර්ලට් බිලිඳු කුමරියගේ උපතින් පසු බටහිර ජපානයේ සත්ව උද්‍යානයක උපන් මකාක් වර්ගයට අයත් වඳුරු පැටවෙකුට චාර්ලට් යනුවෙන් නම් තැබීම ආන්දෝලනයකට තුඩු දී ඇති බවයි පැවසෙන්නේ.

අලුත උපන් වඳුරු පැටවාට නමක් යෝජනා කිරීමට පසුගිය බදාදා පැවති මහජන විමසුමකින් පසුවයි චාර්ලට් යන නම සත්ව උද්‍යානය විසින් තෝරා ගෙන තිබෙන්නේ.

නමුත් ටෝකියෝවේ බීබීසි වාර්තාකරු රූපට් වින්ග්ෆීල්ඩ් පැවසුවේ නම් තැබීමෙන් පැය විසි හතරකට පසු සත්ව උද්‍යානයට විශාල වශයෙන් පැමිණිලි ගලා ආ බවයි.

බටහිර ජපානයේ පිහිටා තිබෙන ඔයිටා සත්ව උද්‍යානය සෑම වසරකම වසන්තය ආරම්භයේ සත්ව උද්‍යානයේ උපත ලබන පළමු වඳුරු පැටවාට නම් යෝජනා කිරීමට මහජන විමසුමක් කැඳවීම සිරිතක්ව පවතියි.

බීබීසි වාර්තා කරු කියා සිටියේ පසුගිය සඳුදා දක්වා වැඩිම යෝජනා ගණනක් ඉදිරිපත් වී තිබුණේ එල්සා යන නාමයට වුවත් අඟහරුවාදා බ්‍රිතාන්‍ය බිලිඳු කුමරියට චාර්ලට් යනුවෙන් නම් තැබීමත් සමග තත්වය වෙනස් වූ බවයි.

පසුගිය බදාදා මකාක් වර්ගයේ වඳුරු පැටවාට චාර්ලට් යනුවෙන් නම් තැබූ බව සත්ව උද්‍යානය නිවේදනය කිරීමත් සමග විශාල වශයෙන් දුරකථන ඇමතුම් ගලා ආ බවයි රූපට් වින්ග්ෆීල්ඩ් පවසන්නේ.

දුරකථන ඇමතුමක් ලබා දුන් එක් ජපාන ජාතිකයෙක් ප්‍රශ්න කර තිබුණේ ජපානයේ අලුත උපන් කුමරියකගේ නමින් බ්‍රිතාන්‍ය සිය වඳුරු පැටවකු නම් කළේ නම් අපට කෙසේ දැනේවිද? යනුවෙනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර