සල්මන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

Image copyright epa

වීදියේ නිදන පුද්ගලයකු මතින් රිය පැදවීමෙන් ඔහු මරණයට පත් කිරීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට පැනවුණු පස් වසරක සිර දඬුවම මුම්බායි මහා අධිකරණය විසින් අත්හිටුවා තිබේ.

සිර දඬුවම අත්හිටුවීමට තීරණය කර තිබෙන්නේ සල්මන් ඛාන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය විමසා බැලීමට කාලය ලබා දීමටයි.

Image copyright AP

හතළිස් නව හැවිරිදි සල්මන් ඛාන්ට දෙදහස් තුන වසරේ දී මුම්බායි නගරයේ පදික වේදිකාවක් මත නිදා සිටි පිරිසක් මතින් රිය පැදවීමෙන් එහි නිදා සිටි නූර් උල්ලා ඛාන් නැමැත්තා මරණයට පත් කිරීම සහ තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ වරදට චෝදනා එල්ල වී තිබිණ.

චෝදනා විභාග කළ අධිකරණය බොලිවුඩ් සිනමා නළු සල්මන් ඛාන් අනියම් මිනීමැරුමකට වරදකරු බවට තීන්දු කරනු ලැබීය.

ඔහුට පැනවුණු සිර දඬුවම ක්‍රියාත්මක වීමට තිබුණේ අද මැයි අට වනදා සිටයි.

Image copyright EPA

ඔහු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය ජුලි මාසයේ විමසා බලන තුරු මුම්බායි මහා අධිකරණය විසින් ඔහුට ඇප ලබා දී තිබේ.

සිය රියදුරු අතින් අනතුර සිදු වූ බව සල්මන් ඛාන් කියා සිට ඇති නමුත් සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ අනතුර සිදු වන අවස්ථාවේ සල්මන් ඛාන් රියදුරු අසුන මත සිටි බවයි.

අනතුරෙන් පසු සුපිරි නළුවා එම ස්ථානයෙන් පලා ගිය බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර